Friday, March 1, 2013

කාගෙදෝ මන්දා ජීවිතයක්......

දවස් දෙක තුනකට කලින් වැලට දාපු කලිසම තාම හුලඟට වැනෙනවා,
වේලිලා හුඟක් කල් වෙන්න ඇති...
කවුරු බලන්නද..
බෝඩිමේ කවුරුත් හිටියෙ නෑ.මම හංගල තිබුනු තැනින් යතුර අරගන දොර ඇර ගත්තා.
හැම තැනම දාලා තිබුනු ඇඳුම් ටික එකතු කරලා බෑග් එකකට් ඔබා ගත්තා.
ණයට අරං ණයට අරං දැං ණයට ගන්න එකෙකුත් නෑ.
අන්තිමට එකෙක්ගෙන් යන්න සල්ලි ඉල්ල ගත්තෙ "උඹට හුඟ කාලෙකට මේක ආයි දෙන්න වෙන්නෙ නෑ මචං"
කියලා හිත යටිං කියන ගමං.
එ අස්සෙ උදේටත් මුකුත් නොවැටුනු බඩ කෑ ගහන්න ගත්තා,හරියටම කෑ ගගහ හිටපු හිත වගෙම..
"මචං,මම යනවා.ආයිත් දවසක අපි හම්බ වේවි,එදාට උඹලගෙයි මගෙයි වෙනස,උඹලා ලොකු මහත්තුරු වෙලා ඉඳීවි"
කියලා ලිවුමක් ලියන්න ආපු අදහස එහෙම්මම අත් ඇරලා දැම්මෙ ඕක ලිව්වත් නැතත් කවුරුවත් ඕක ගැන හොයන එකක් නෑ කියල හිතුනු හන්දා.
බෝඩිමේ දොර වහලා දාලා යතුර තිබුනු තැනින්ම හංගපු මම පඩිපෙල නගින ගමං ජීවිතේ පරන පරිච්චේදයක් වෙච්චි බෝඩිම දිහා අන්තිම වතාවටත් බැලුවා.
එතකොටයි දැක්කෙ කලිසම තවමත් වැලේ වැනෙනවා.ඔක්කොම අරං යන එකේ ඔක තියලා යන්නෙ මොකටද කියලා ඒකත් අරං බෑග් එකේ ඔබා ගත්තා.......

Monday, January 28, 2013

ආයිමත් එනවා නේද මට එලවන්න?.............


"Close The Terminal session?"
තීරන පිරුනු ජීවිතේට තවත් එක් ප්‍රශ්නයක් එල්ල උනා,

තීරන අරගන හෙම්බත් වෙලා හිටපු මට ජීවිතේ තවත් එක ප්‍රශ්නයක් එල්ල කලා.
නෑ නෑ,ජීවිතේ නෙවෙයි මගෙ ඉස්සරහ තිබුනු කොම්පියුටරේ.

ඒ තීරනේ ගන්න එක මොහොතකට නතර කරලා මම වටපිට බැලුවෙ ඒකාකාරී ජීවිතේ රටාව බිඳින්න දෙයක් හොයාගන්න,
සිකුරාදාවක් වෙච්චි එදා පරිගණක ඒකකයෙ පාලුව බිඳින්න හිටියෙ මම වගේම තවත් කොම්පියුටරේට මූන ඔබාගත්තු හතර දෙනෙක්ම විතරයි,
හැමෝම තම තමංගෙ වැඩ,

එකෙක් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා ඇති,සමහර දවස් වලට මම වගේ,

තව එකෙක් සබ්මිට් කරන්න පරක්කු උනු ප්‍රැක්ටිකල් එකක් කරනවා ඇති,

මම නම් කලේ හිත කියන දේ,
මොකක් කර කර හිටියද මන්දා,
කොහොම හරි,හිත කියන දේ,

මහ පාලුවේ ඒකාකරි බව බිදින්න කියලා මම කියපු දේ ඇහිලද කොහෙද,
කවුදෝ මන්දා දොරක් ඇරියා,
කල්පනා ලෝකෙක හිටපු මම ගැස්සිලා ඒ පැත්ත බැලුවා,
මම දැක්කෙ,

මෙහෙදි කලාතුරකින් දකින්න පුලුවන් හිනාවෙන් පිරුනු මූනක්,
දැකලා පුරුදු එකක්,
සියවෙනි වතාවට දකිනවා උනත් මට තවම මතකයි ඇයව පලවෙනි වතාවට දැකපු දවස,

මම හිටියෙ පරිගනක ඒකකයට යන කොරිඩෝවෙ,
ඒ වෙලාවෙ පොඩි වැස්සක් තිබුනා,
ලඟ පාත කවුරුත් හිටියෙ නැති හන්දා මම හිටියෙ වහලෙන් වැටෙන වතුර පාරවල් වලට අහුවෙන්න අත පද්ද පද්ද මගේම හීන ලෝකෙක,
ඒ වෙලාවෙ තමා එයා කොරිඩෝවෙ එහා කොනෙන් මතු උනේ,
මම එයාව දැකපු ගමන් කර කර හිටපු විකාර වැඩ නැවැත්තුවා,

ඒත් එයා ඇති තරම් දැක්කා,
මගෙ ලඟින් යන ගමන් ලොකු හිනාවක් දැම්මා,
මට ආපහු හිනා වෙන්න මතක් උනෙ ටික වෙලාවකට පස්සෙ,

මොකද මම මෙහෙදි හිනාවෙන මූනක් දැක්කමයි.
එයාගෙ පලවෙනි හිනාවම මගේ හීන ලෝකෙට එලියක් දුන්නා,
මගේ හීනවල,එයා හිටියා.
එක එක විදි වලට,
කවදාවත් හැබෑ නොවෙන විදි වලට.

එයා ආපහු හිනා වෙනවා,
මම හැරිලා බැලුවා මගෙ පිටි පස්සෙ කෙනෙක් එක්කද කියලා,
කවුරුත් හිටියෙ නෑ මගෙ පිටිපස්සෙන්,
මමත් හිනා උනා,
ඇඟෙන් කෑල්ලක් යනවයෑ,
එයා මගෙ ලඟට ඇවිත් එහා පැත්තෙ පුටුවෙන් වාඩි උනා,
හීන දකින්න ඇති මම දහස් පාරක්,
මේක වෙයි කියලා,

ඒත් කවුද හිතුවෙ ඇත්ත වෙයි කියලා!
"මල්ලි හැමදාම මෙහෙ එනවා නේද?",

මම හිතුවෙම නෑ කතාකරාවි කියලා,
"නෑ...මේ....ඔවු..නෑ..නෑ...ඔව්",මට වචන පැටලුනා.
"මොකෝ මල්ලි බය වෙලා?.මම ආවෙ එලවන්න නෙවෙයි" ආයිමත් අර හිනාව.
"ඔවු ඉතින්,ඉදලා හිටලා එනවා",ඒ පාරනම් ටිකක් හරි ගියා.
"ඉඳලා හිටලා?.හොඳ ඉඳලා හිටලා.පහුගිය සතියෙම උදේ ඉඳලා හවස් වෙනකම් මේකෙ නේද?"එයා හිනා වෙවී අහනවා.

මම හිනා උනා,
"මොකද හිනා වෙන්නෙ?.නීවාඩු දෙන්නෙ ගෙදර යන්න.මේක ඇතුලට වෙලා ඉන්න නෙවෙයි.",
"එහෙනම් මම  යන්නද?" මම හෙමිහිට ඇහුවා.
"අපෝ පිස්සා,ඔච්චර බය වෙන්න එපා.මම කිව්වනේ එලවන්න නෙවෙයි ආවෙ කියලා" ආයිමත් අර හිනාව..
"එහෙනම් යන්න කිව්වෙ?"
"විහිලුවටනෙ ලමයෝ,හැමදාම උනත් එන්න.මගේ අකමැත්තක් නෑ",හීනයක දෙබස් ඒ වගේම.
මම හෙමිහිට ෆෝන් එක අතට අරන් වෙලාව බැලුවා,
වහන වෙලාවමයි,
"මොකද වෙලාව බලන්නෙ?යන්න ඕනිද?" තවත් ප්‍රශ්නයක්.
"දැන් වහනවා නේද?,වහන්නෙ නැත්නම් යන්නෙ නැතුව ඉන්නම්" මම කිව්වා.
එයාට ලොකු හිනාවක් ගියා.
"අපෝ දැන් වහන්න ඕනි.ඔයාට ගෙවල් නැති උනාට අපිට යන්න ගෙවල් තියනවා",
"එහනම් මම යන්නද?" ආයිමත් මම ඇහුවා,
මට හිතුනෙ "ඉතින් යන්න,මට මොකද" කියයි කියලා,

ඒත්,
"එහෙනම් යන්න,ආයිමත් එනවා නේද මට එලවන්න?"...................................................................................................

Wednesday, October 31, 2012

මට නැති ජීවිතය......................

මට නැති ජීවිතය,
උඹට තියනව කියලා දැනෙනකොට,
හිත් අගට දැනෙන හීන් ඉරිසියාව,
දැනෙන්නෙ නැතුව ඇති ලෝකෙ වෙන කාටවත්...

කාටවත් බරක් නැති,
මහා ලොකු පැතුම් නැති,
වැඩ කරන උඹ,
එදා වේල කන්න විතරක්...

මම මෙහේ දුවනකොට,
අල්ලන්න මහා ලොකු වගකීම්,
බලා පොරොත්තු...

උඹ ගෙවනකොට මගේ,
සිහින ජීවිතය,
දාලා දුවන්න හිතෙනවා බං,
මේ මුලු කෙහෙල්මලම...............................

මගෙන් උඹලා දෙන්නට magepissulokaya.blogspot.com , ahikuntakaya.blogspot.com

Tuesday, October 30, 2012

දුයිශෙන් උඹ කොහෙද?

දුයිශෙන් උඹ කොහෙද?
උඹ වගේ ගුරුවරු නෑ අද,
සෙනෙහස උඹ දීපු,
නොකියා වචනයක්වත්,
අල්තීනායිට,
දෙන්නෙ නෑ අද කවුරුවත්...

වහල් වෙලා මුදලට,
දුවනවා පස්සෙන් ප්‍රසිද්දිය...

අයිලයට උඩින් පායපු හඳ එලිය,
රසවිඳින්න බෑ ඒ කාටවත්,
හැමෝම මහ යුද්දෙක...

කවුරුවත් නෑ කියාදෙන්න,
නිදහසේ පාඩම,
උඹ වගේ හදවතට වදින්නට...
දුයිශෙන් ඉපදියං ආයිමත්,
සිය ගනං උඹ වගේ උන් එක්ක,
ඇවැසි උඹ වගේ උන් අප හට,
එදාට වඩා අදට.....................................

Sunday, September 9, 2012

ලංකාව සහ සුපිරි වීරයෝ

වැටත් නියරත් ගොයම් කන්නා සේ අවසන්වුනු පලාත් පාලන මැතිවරනයට ජනතාවගෙන් 50% ක්වත් ඡන්දය ප්‍රකාශ නොකල බව මටනම් "ලොවෙත්" ශුවර්ය.මක් නිසාද යත් කෙහෙල්මල් ඡන්දයකට වඩා ඔවුන්ට ජීවත් වීමට "2500" සොයාගතයුතු නිසාය.ඡන්දයට පෙර "පනා" උස්සාගෙන ගෙදරට පැමිනෙන කිසිවෙක් ඔවුනට "කොල කෑලි" මිස හාල් මිටියක් ගෙන නොආ නිසාය.ගෙන එන්නේද නැති නිසාය.හතර පාරකට ප්‍රතිඵල දෙන විභාග වලට ඔවුන්ගේ දරුවන් යැවිය යුතු නිසාය. 1.8% න් නඩත්තු වන සරසවිවල ඉන්නා ලොකු පුතාට,දුවට එදාවේල කන්නට කීයක් හරි යැවිය යුතු නිසාය.

මමද ඡන්දය ප්‍රකාශ නොකලෙමි.ඒත් "ලොවෙත්" ශුවර් තවත් කරුනක් වෙන්නෙ මොකෙක් හරි එකෙක් ඒ ඡන්දයද හොරෙන් දමන්නට ඇති බවයි.තවත් දහස් ගනනකගේ ඡන්ද හොරෙන් වැටෙන්නට ඇත.නැතිනම් ප්‍රකාශිත ඡන්ද ප්‍රමානය 60% වන්නට කිසි සේත් ඉඩක් නැත.

ජනතාවට දැන් ඡන්දය තුල විශ්වාසයක් නැත.මොකාට ඡන්දය දුන්නත් හාල් කිලෝව නැවතත් රුපියල් 20 ට බසින්නේ නැත.ලෝක වෙලද පොලේ අඩු වූ තෙල් බැරලයට සාපේක්ශව තෙල් මිල අඩුවන්නේද නැත.අද්‍යාපනයට 6% වෙන් වන්නේද නැත.පාන් ගෙඩිය ගැන කතා නොකර සිටීම හොඳය.

ජනතාවට දැන් ඇවැසි වන්නේ දේශපාලන පිලියමක් නොව "සුපිරි වීරයෙකි".කඩා වැටෙමින් තිබූ ජ්'මනියට "හිට්ලර්" සේය.ආසාධාරනයට ලක් වූ දෙමල ජනතාවට "ප්‍රභාකරන්" සේය.එසේත් නැතිනම් "ගෝතම්" නගරයට "බැට් මෑන්" සේය.හරියටම කිව්වොත් දඬු මොනරයෙහි එන රාවනා සේය.

Saturday, August 18, 2012

දන්නවා ඔබ ගියේ.....................

දන්නවා ඔබ ගියේ,
වැඩ වැඩි උනු නිසා බව,
මම කරදර කල නිසා බව,
ඔලුව අවුල් උනු නිසා බව,





ඒත්,

දන්නවද ඔබ ගිය දා ඉඳන්,
මම තට්ට තනියම බව,
ලෝකයම පාලු බව,
උඩින් හිනා වී,
හිත යටින් මම හඬන බව?

Monday, July 23, 2012

අරමුනක් නොමැති සිහිනය........................

මෙය තරමක් වෙනස් ආරම්භයක්,
මේ කතාවට පාදක වන්නේත් මගේ ජීවිතයට පැමිනි "ඇයක්"

ඇය ජීවිතයට පැමිනියේ අහඹු ලෙස,
විශ්ව විද්‍යාලය තුල පැවති සංගමයකින් සංවිදානය කල චාරිකාවකදී,
පලමු හමු වීම පිලිබඳව මගේත් ඇයගේත් මතකයන් තුල වැඩි සදහනක් තිබුනේ නැහැ,
අහඹුවකින් මෙන් ඉහත සංගමයෙන්ම සංවිදානය කල තවත් චාරිකාවකට ඇය පැමිනීමත් සමග අපගේ දෙවන හමුවීම සිදුවෙනවා,
දවන හමුවීමේදී ඇය හා මා ලං වන්නෙ පුදුමාකාර ලෙසින්,
දවස තිස්සෙ ඇයගේ ගමන් සහායකයා වූ මා,ඇයටත් නොදැනීම ඇයට බොහෝ සේ ලං වී තිබුනා,

පුදුමාකාර ගති ලක්ශන තිබූ ඈ,මාගේ සමහර සිහිනයන් නැවතත් අවදි කරන්නට සමත් වූවා,
තාත්විකත්වයත් සමග උවමනාවට වඩා ගැටීමෙන්,නිද්‍රාගත තත්ව‍යය පත්ව තිබූ මාගේ අනන්‍ය සිහින ලෝකය අවදි කිරීමට ඈ සමත් ඌයේ,මගේ සිහින ලෝකයේ චරිත වල යම් කිසි ස්වභාවයන් තාත්විකත්වය තුල මා දුටුවේ ඇගෙන් නිසා විය යුතුයි,
ඇයට උවමනාවට වඩා ලංවීමට මට අවශ්‍ය නොවූයේ,ලංවීමේදි දැනගන්නා ඇතැම් කරුනු සිහිනයට නොගැලපීම,නිසා සිහිනය බිඳ වැටෙනා බැව් මා අත්දැකීමෙන් දන්නා නිසා.
කෙසේ නමුත් කාලයත් සමග නොවැලැක්විය හැකි ලෙසින් අප ලං වූයේ කුමක් නිසාදැයි මා දන්නේ නැහැ,

ජීවිතයට උරුම උස් පහත් වීම් ගැටීම් සහ සතුටු දායක අවස්තා ගනනාවක් සමග අපගේ බැඳිම පෙම්වතුන් දෙදෙනෙකුගේ තරමටම බැදී ගියත්,
කිසිදාක මම එය ඇගෙන් නොවිමසුයේ කරුනු කිහිපයක් නිසාය,
පලමු වැන්න ඇය මාගෙන් __ වසරක් පමන වැඩි මහලු වීමයි,දෙවැන්න ඇයගේ පවුලෙන් ප්‍රේම සම්බන්දතා වලට එරෙහිව නැගී තිබූ ප්‍රතිරෝදයයි,
මේ සියල්ලම සිදුවී දෙමසකින් ඇය විශ්ව විද්‍යාලයෙන් නික්මී ගියත්,අපගේ ජීවිත අපගේ සබදතාවයට එලෙස නික්මෙන්නට ඉඩ දුන්නේ නැහැ...

මගේ සෑම සිහිනයක්ම පාහේ අනාගතයක් නොමැති සිහිනයන් ඌවත්,පුදුමයකට මෙන් ඒ සෑම සිහිනයක්ම පාහේ සාර්තක කරගැනීමට(හෝ සාර්තක වීමට) මා සමත් වී තිබෙනවා..
අවසානයට,මෙම සිහිනයද ඒ ඝනයට අයිතිවන බව පමනක් මා පවසන්නම්........


(මෙම ලියැවීම සිදු වෙන්නේ 2012/01/26 වන දිනයි,මෙය මෙම දිනයේ ප්‍රසිද්ද වීම සිදු නොවන්නෙ මෙහි සදහන් "ඇය" තවමත් මගේ ජීවිතයට තදින් සම්බන්ද බැවින්,මගේ ජීවිතයේ සදාතන රහස් නොමැති බැවින් යම්කිසි දිනෙක මෙය ප්‍රසිද්ද වේවි..දිනය කිසිදාක වේ දැයි කිව නොහැක්කේ කතාව කොයි ලෙසකට ඉදිරියට ගලා යා දැයි මා වත් ඇයවත් නොදන්නා නිසා..)