ආයිත් ඔන්න මම කථාවක් කියන්නයි යන්නෙ,
මෙක................
හ්ම්ම්ම්ම්ම්....
අපි කියමු ලේසියට "මන්තර කාරියෙක්" ගැන කියලා,
මන්තර කාරියෙක් කිව්වට ඈ කෝපි කාලෙ මන්තර කාරියො වගේ වැරහැලි ඇඳුම් ඇඳගත්තු මායා කොස්සක් උඩ අහසින් ගමන් ගියපු කෙනෙක් නෙවෙයි,
ඈව හැම වෙලේම දැකගන්න හම්බ උනේ පපුවට හිර වෙන්න ඇදපු ප්‍රින්ටඩ් ටී ශර්ට් එකකුයි, ඇගට හිර වෙන්න ඇඳපු ඩෙනිම් කලිසමකුයි එක්ක තමා,
ආ තව ඈ අතේ හැම වෙලේම ටිකක් මිල අඳික ස්මාට් පෝන් එකකුත් දකින්න ලැබුනා,
ඈ ඕනි ගමනක් යන්න පාවිචි කලේ බස් එක තමා,
ඈට උඩිං යන්නත් පුලුවං ඇති,සමහර විට ඈ උඩිං යන්න කැමති නැතුව ඇති,
කොහොම උනත් කථාවට ඒක වැඩක් නෑ,
කථාව කියන මම ඒක දන්නෙත් නෑ,
ආ තව එකක් කියන්න අමතක උනා,
ඈ මන්තර කාරියෙක් උනාට ලස්සනයි,
එක පාරක් කවුරු හරි දැක්කොත් ආයිමත් හැරිලා බලන්න හිතෙන විදියෙ ලස්සනක් ඈට තිබුනා,
අනික ඉස්සර මන්තර කාරියො හිටියෙ රවාගන උනාට,දකින හැම මනුස්සයත් එක්කම මූන පුරා හිනාවෙන පුරුද්දක් ඈට තිබුනා,
ඉතිං ඈ සාස්තර කියන්න, ගුරුකං කරන්න ඉස්සර කට්ටිය වගෙඑ ගස් ගල් ගානෙ ගියෙ නෑ,
ජීවිතේට හොයන්න බැරි පැල, කඟවේන අං එහෙම ඉල්ලුවෙත් නෑ,
ඈ සාස්තරයක් කියන්න ඕනිනම් කරන්නෙ ඇගෙ ස්මාට් පෝන් එකට හෙඩ් සෙට් එක හයි කරලා කනේ ගහගන්න එකයි,
ඊට පස්සෙ මීඩියා ප්ලේයරෙන් "එකෝන්" ගෙ හරි "බීබර්" ගෙ හරි සින්දුවකට මිනිත්තු කීපයක් සවන් දෙන ඈ පටන් ගන්නවා සාස්තරය අහන්නාගෙ අතීතය කියන්න,
පරන අය අර කිරි ගහට ඇන්නා කියලා කියන්නෙ,අන්න ඒ වගේ අතීතය කියලා ඉවර කරන ඈ ඊ ලඟට පටන් ගන්නවා අනාගතය කියන්න,
ඈ අනාගතය කියන්නෙ අනික් අය වගෙ නෙවෙයි,
එක අනාගතයක් වෙනුවට ඈ අනාගතයන් කිහිපයක් කියනවා,
කලුත් නැති, සුදුත් නැති,
කියලා ඈ කියනවා කැමති අනාගතයක් තෝරගන ඒක දිහාවට ගමන් ආරම්භ කරන්න කියලා,
ඈ මේ කියන සාස්තර වලට මුකුත් ඉල්ලන්න යන්නෙ නෑ සාස්තර අහන්නන්ගෙන්,
කොහේදි හරි ඈව දැක්කාම ඔවුන් මූන පුරා හිනා වේවි කියල බලාපොරොත්තු වෙනවා ඇරෙන්න,
ඒත් බොහෝම අය ඇගෙන්නම් පෝන් නම්බරයනම් ඉල්ල ගන්නවා,
ඈ ගුරුකම් කරන විදිය මම කියන්න යන්නෙ නෑ ඒකෙන් කතාවට වැඩක් නැති හන්දා,
ඒත් ඒකට ලැප්ටොප් එකක් සම්බන්දයි කියලා විතරක් මම කියන්නම්,
ඔන්න දැන් තමා හරි කතාව පටන් ගන්නෙ,
ඈ දවසක් බස් එකේ ගමනක් යද්දි හමු වෙච්ච එක තරුනයෙකුට ඕනි වෙනව ඇගෙන් සාස්තරයක් අහන්න,
දැන් මගෙන් අහන්න එපා ඔහු කොහොමද ඈ මන්තර කාරියෙක් ය කියලා දැනගත්තෙ කියලා,
මම දන්නෙ නෑ,
ඔහු කොහොම හරි දැන ගත්තා,
ඉතිං ඈ පුරුදූ විදියට සාස්තරෙ කියන්න පටන් ගත්තා,
ඉතිං අතීතය කියලා ඉවර වෙලා අනාගතය කියන්න පටන් ගන්නකොට මහ පුදූම දෙයක් උනා,
ඈ කවදාවත් කියපු එකම සාස්තරයකවත් ඇගේ ගැන තිබුනෙ නෑ,
ඒත් මෙන්න මේ තරුනයාගෙ අනාගතයෙ ඇගේ ගැන කියවුනා,
ඈ ඒක මේ තරුනයාට කියන්න බය වුනා,
මන්තර කාරි සාස්තරය ඔක්කොම තරුනයට කිව්වා,හැබැයි ඒ ඇගේ නම තිබුනු කොටස අයින් කරලා,
සාස්තරය කියලා අවසානයේදි වෙන කාගෙන්වත්ම මුකුත්ම නොයිල්ලපු ඈ,
ඔහුගෙන් පෝන් නම්බරේ ඉල්ල ගන්නවා,
ඉතිං ඒ කථාවෙ දැනට කියන්න පුලුවං හරිය ඔච්චරයි,
ඉතුරු ටික ආරන්චි වුනාම කියන්නම්,
හැබැයි තව මන්තර කාරි නොහිතපු දෙයක් තියනවා කියන්න,
ඒ තරුනයාගෙ අනාගතේ මන්තර කාරි ලියවෙන්නෙ ඇගේ සාස්තරය නිසාම බවත්,
සාස්තරයෙ ඈ ගැන කියවෙන්නෙ අනාගතය නිසා බවත්......
Friday, June 28, 2013
මන්තරකාරි...............
Friday, March 1, 2013
කාගෙදෝ මන්දා ජීවිතයක්......
දවස් දෙක තුනකට කලින් වැලට දාපු කලිසම තාම හුලඟට වැනෙනවා,
වේලිලා හුඟක් කල් වෙන්න ඇති...
කවුරු බලන්නද..
බෝඩිමේ කවුරුත් හිටියෙ නෑ.මම හංගල තිබුනු තැනින් යතුර අරගන දොර ඇර ගත්තා.
හැම තැනම දාලා තිබුනු ඇඳුම් ටික එකතු කරලා බෑග් එකකට් ඔබා ගත්තා.
ණයට අරං ණයට අරං දැං ණයට ගන්න එකෙකුත් නෑ.
අන්තිමට එකෙක්ගෙන් යන්න සල්ලි ඉල්ල ගත්තෙ "උඹට හුඟ කාලෙකට මේක ආයි දෙන්න වෙන්නෙ නෑ මචං"
කියලා හිත යටිං කියන ගමං.
එ අස්සෙ උදේටත් මුකුත් නොවැටුනු බඩ කෑ ගහන්න ගත්තා,හරියටම කෑ ගගහ හිටපු හිත වගෙම..
"මචං,මම යනවා.ආයිත් දවසක අපි හම්බ වේවි,එදාට උඹලගෙයි මගෙයි වෙනස,උඹලා ලොකු මහත්තුරු වෙලා ඉඳීවි"
කියලා ලිවුමක් ලියන්න ආපු අදහස එහෙම්මම අත් ඇරලා දැම්මෙ ඕක ලිව්වත් නැතත් කවුරුවත් ඕක ගැන හොයන එකක් නෑ කියල හිතුනු හන්දා.
බෝඩිමේ දොර වහලා දාලා යතුර තිබුනු තැනින්ම හංගපු මම පඩිපෙල නගින ගමං ජීවිතේ පරන පරිච්චේදයක් වෙච්චි බෝඩිම දිහා අන්තිම වතාවටත් බැලුවා.
එතකොටයි දැක්කෙ කලිසම තවමත් වැලේ වැනෙනවා.ඔක්කොම අරං යන එකේ ඔක තියලා යන්නෙ මොකටද කියලා ඒකත් අරං බෑග් එකේ ඔබා ගත්තා.......
Monday, January 28, 2013
ආයිමත් එනවා නේද මට එලවන්න?.............
"Close The Terminal session?"
තීරන පිරුනු ජීවිතේට තවත් එක් ප්‍රශ්නයක් එල්ල උනා,
තීරන අරගන හෙම්බත් වෙලා හිටපු මට ජීවිතේ තවත් එක ප්‍රශ්නයක් එල්ල කලා.
නෑ නෑ,ජීවිතේ නෙවෙයි මගෙ ඉස්සරහ තිබුනු කොම්පියුටරේ.
ඒ තීරනේ ගන්න එක මොහොතකට නතර කරලා මම වටපිට බැලුවෙ ඒකාකාරී ජීවිතේ රටාව බිඳින්න දෙයක් හොයාගන්න,
සිකුරාදාවක් වෙච්චි එදා පරිගණක ඒකකයෙ පාලුව බිඳින්න හිටියෙ මම වගේම තවත් කොම්පියුටරේට මූන ඔබාගත්තු හතර දෙනෙක්ම විතරයි,
හැමෝම තම තමංගෙ වැඩ,
එකෙක් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා ඇති,සමහර දවස් වලට මම වගේ,
තව එකෙක් සබ්මිට් කරන්න පරක්කු උනු ප්‍රැක්ටිකල් එකක් කරනවා ඇති,
මම නම් කලේ හිත කියන දේ,
මොකක් කර කර හිටියද මන්දා,
කොහොම හරි,හිත කියන දේ,
මහ පාලුවේ ඒකාකරි බව බිදින්න කියලා මම කියපු දේ ඇහිලද කොහෙද,
කවුදෝ මන්දා දොරක් ඇරියා,
කල්පනා ලෝකෙක හිටපු මම ගැස්සිලා ඒ පැත්ත බැලුවා,
මම දැක්කෙ,
මෙහෙදි කලාතුරකින් දකින්න පුලුවන් හිනාවෙන් පිරුනු මූනක්,
දැකලා පුරුදු එකක්,
සියවෙනි වතාවට දකිනවා උනත් මට තවම මතකයි ඇයව පලවෙනි වතාවට දැකපු දවස,
මම හිටියෙ පරිගනක ඒකකයට යන කොරිඩෝවෙ,
ඒ වෙලාවෙ පොඩි වැස්සක් තිබුනා,
ලඟ පාත කවුරුත් හිටියෙ නැති හන්දා මම හිටියෙ වහලෙන් වැටෙන වතුර පාරවල් වලට අහුවෙන්න අත පද්ද පද්ද මගේම හීන ලෝකෙක,
ඒ වෙලාවෙ තමා එයා කොරිඩෝවෙ එහා කොනෙන් මතු උනේ,
මම එයාව දැකපු ගමන් කර කර හිටපු විකාර වැඩ නැවැත්තුවා,
ඒත් එයා ඇති තරම් දැක්කා,
මගෙ ලඟින් යන ගමන් ලොකු හිනාවක් දැම්මා,
මට ආපහු හිනා වෙන්න මතක් උනෙ ටික වෙලාවකට පස්සෙ,
මොකද මම මෙහෙදි හිනාවෙන මූනක් දැක්කමයි.
එයාගෙ පලවෙනි හිනාවම මගේ හීන ලෝකෙට එලියක් දුන්නා,
මගේ හීනවල,එයා හිටියා.
එක එක විදි වලට,
කවදාවත් හැබෑ නොවෙන විදි වලට.
එයා ආපහු හිනා වෙනවා,
මම හැරිලා බැලුවා මගෙ පිටි පස්සෙ කෙනෙක් එක්කද කියලා,
කවුරුත් හිටියෙ නෑ මගෙ පිටිපස්සෙන්,
මමත් හිනා උනා,
ඇඟෙන් කෑල්ලක් යනවයෑ,
එයා මගෙ ලඟට ඇවිත් එහා පැත්තෙ පුටුවෙන් වාඩි උනා,
හීන දකින්න ඇති මම දහස් පාරක්,
මේක වෙයි කියලා,
ඒත් කවුද හිතුවෙ ඇත්ත වෙයි කියලා!
"මල්ලි හැමදාම මෙහෙ එනවා නේද?",
මම හිතුවෙම නෑ කතාකරාවි කියලා,
"නෑ...මේ....ඔවු..නෑ..නෑ...ඔව්",මට වචන පැටලුනා.
"මොකෝ මල්ලි බය වෙලා?.මම ආවෙ එලවන්න නෙවෙයි" ආයිමත් අර හිනාව.
"ඔවු ඉතින්,ඉදලා හිටලා එනවා",ඒ පාරනම් ටිකක් හරි ගියා.
"ඉඳලා හිටලා?.හොඳ ඉඳලා හිටලා.පහුගිය සතියෙම උදේ ඉඳලා හවස් වෙනකම් මේකෙ නේද?"එයා හිනා වෙවී අහනවා.
මම හිනා උනා,
"මොකද හිනා වෙන්නෙ?.නීවාඩු දෙන්නෙ ගෙදර යන්න.මේක ඇතුලට වෙලා ඉන්න නෙවෙයි.",
"එහෙනම් මම යන්නද?" මම හෙමිහිට ඇහුවා.
"අපෝ පිස්සා,ඔච්චර බය වෙන්න එපා.මම කිව්වනේ එලවන්න නෙවෙයි ආවෙ කියලා" ආයිමත් අර හිනාව..
"එහෙනම් යන්න කිව්වෙ?"
"විහිලුවටනෙ ලමයෝ,හැමදාම උනත් එන්න.මගේ අකමැත්තක් නෑ",හීනයක දෙබස් ඒ වගේම.
මම හෙමිහිට ෆෝන් එක අතට අරන් වෙලාව බැලුවා,
වහන වෙලාවමයි,
"මොකද වෙලාව බලන්නෙ?යන්න ඕනිද?" තවත් ප්‍රශ්නයක්.
"දැන් වහනවා නේද?,වහන්නෙ නැත්නම් යන්නෙ නැතුව ඉන්නම්" මම කිව්වා.
එයාට ලොකු හිනාවක් ගියා.
"අපෝ දැන් වහන්න ඕනි.ඔයාට ගෙවල් නැති උනාට අපිට යන්න ගෙවල් තියනවා",
"එහනම් මම යන්නද?" ආයිමත් මම ඇහුවා,
මට හිතුනෙ "ඉතින් යන්න,මට මොකද" කියයි කියලා,
ඒත්,
"එහෙනම් යන්න,ආයිමත් එනවා නේද මට එලවන්න?"...................................................................................................
Wednesday, October 31, 2012
මට නැති ජීවිතය......................
උඹට තියනව කියලා දැනෙනකොට,
හිත් අගට දැනෙන හීන් ඉරිසියාව,
දැනෙන්නෙ නැතුව ඇති ලෝකෙ වෙන කාටවත්...
කාටවත් බරක් නැති,
මහා ලොකු පැතුම් නැති,
වැඩ කරන උඹ,
එදා වේල කන්න විතරක්...
මම මෙහේ දුවනකොට,
අල්ලන්න මහා ලොකු වගකීම්,
බලා පොරොත්තු...
උඹ ගෙවනකොට මගේ,
සිහින ජීවිතය,
දාලා දුවන්න හිතෙනවා බං,
මේ මුලු කෙහෙල්මලම...............................
Tuesday, October 30, 2012
දුයිශෙන් උඹ කොහෙද?
උඹ වගේ ගුරුවරු නෑ අද,
සෙනෙහස උඹ දීපු,
නොකියා වචනයක්වත්,
අල්තීනායිට,
දෙන්නෙ නෑ අද කවුරුවත්...
දුවනවා පස්සෙන් ප්‍රසිද්දිය...
අයිලයට උඩින් පායපු හඳ එලිය,
රසවිඳින්න බෑ ඒ කාටවත්,
හැමෝම මහ යුද්දෙක...
කවුරුවත් නෑ කියාදෙන්න,
නිදහසේ පාඩම,
උඹ වගේ හදවතට වදින්නට...
සිය ගනං උඹ වගේ උන් එක්ක,
ඇවැසි උඹ වගේ උන් අප හට,
එදාට වඩා අදට.....................................
Sunday, September 9, 2012
ලංකාව සහ සුපිරි වීරයෝ
මමද ඡන්දය ප්‍රකාශ නොකලෙමි.ඒත් "ලොවෙත්" ශුවර් තවත් කරුනක් වෙන්නෙ මොකෙක් හරි එකෙක් ඒ ඡන්දයද හොරෙන් දමන්නට ඇති බවයි.තවත් දහස් ගනනකගේ ඡන්ද හොරෙන් වැටෙන්නට ඇත.නැතිනම් ප්‍රකාශිත ඡන්ද ප්‍රමානය 60% වන්නට කිසි සේත් ඉඩක් නැත.
ජනතාවට දැන් ඡන්දය තුල විශ්වාසයක් නැත.මොකාට ඡන්දය දුන්නත් හාල් කිලෝව නැවතත් රුපියල් 20 ට බසින්නේ නැත.ලෝක වෙලද පොලේ අඩු වූ තෙල් බැරලයට සාපේක්ශව තෙල් මිල අඩුවන්නේද නැත.අද්‍යාපනයට 6% වෙන් වන්නේද නැත.පාන් ගෙඩිය ගැන කතා නොකර සිටීම හොඳය.
ජනතාවට දැන් ඇවැසි වන්නේ දේශපාලන පිලියමක් නොව "සුපිරි වීරයෙකි".කඩා වැටෙමින් තිබූ ජ්'මනියට "හිට්ලර්" සේය.ආසාධාරනයට ලක් වූ දෙමල ජනතාවට "ප්‍රභාකරන්" සේය.එසේත් නැතිනම් "ගෝතම්" නගරයට "බැට් මෑන්" සේය.හරියටම කිව්වොත් දඬු මොනරයෙහි එන රාවනා සේය.
Saturday, August 18, 2012
දන්නවා ඔබ ගියේ.....................
වැඩ වැඩි උනු නිසා බව,
මම කරදර කල නිසා බව,
ඔලුව අවුල් උනු නිසා බව,
ඒත්,
දන්නවද ඔබ ගිය දා ඉඳන්,
මම තට්ට තනියම බව,
ලෝකයම පාලු බව,
උඩින් හිනා වී,
හිත යටින් මම හඬන බව?