Tuesday, September 27, 2011

පසුව නම් කරමි..............



පොෂ් ගැහැණු,
මහලු මිනිස්සු,
ස්ලිම් කෙල්ලො,

සක්මන් මාවත දිගේ ඇවිදිමින්,හුරු පුරුදු "ඊවිනිං වෝක් එක" ගනිමින් සිටියහ..
පොෂ් ගැහැණු "ශෝ එකට" ද,
මහලු මිනිස්සු "සීනි වැඩි නිසා"ද,
ස්ලිම් කෙල්ලො "ස්ලිම් ගතිය පවත්වා ගැනීමට?"ද,
"ඊවිනිං වෝක් එක"ගනිමින් සිටියද,

අප,
මා සහ මලයා නිදහස් චතුරශ්‍රයේ අතුරු පිවිසුම් මගෙහි ඇවිදිමින් සිටියේ හුදෙක් රස්තියාදුව සදහාය,
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලා,පොත් දෙකක් මිලදී ගෙන,අතේ සතේ නැතිව සිටි මා,
"අයියෙ නිදහස් චතුරශ්‍රෙ තියෙන්නෙ මේ ළඟ,යමුද බලන්න?" මලයා ගේ කීමට එකඟ වූයේ,"ආයි කවදා මේ පැත්තෙ එන්නද.." යන හැඟීමෙන් යුක්තවය.

පොෂ් ගැහනු සහ මහල්ලන් ගැන සැලකිල්ලක් නොදැක්වූ මා සහ මලයා "ස්ලිම් කෙල්ලන්" දෙස බලමින්,අතුරු පිවිසුම් මගෙහි "පුළුවන් තරම් අයිනෙන්" ගමන් කරමින් සිටියේ ඇවිදින්නන්ට ඇවිදගන්නට කියායි.

දෙපය මගෙහි වූවද,දෙනෙත සහ මනස වෙනතක නිසා,යමක් කියමින් මලයා මගේ අතින් ඇදීම මට නොදැනීම එතරම් පුදුමයක් නෙවේ.
මොහොතකින් යමෙකුගේ සිරුරේ මා ගැටුණේ දෙදෙනාවම බිම ඇද දමන තරම් වේගයකින්,

"Bloody idiot,Are you bloind or something?"
නුහුරු විදෙස් බස් හැසුරුමකින් ඇසුණේ,මා නැවත නැගී සිටින්නටත් පෙරයි..
"නොදකිං ලංකාවෙ ගොං කෙල්ලො,ඉංග්‍රීසියෙං කතාකරනවා මදිවට ඇක්සන්ට් එකත් වෙනස් කරගන",සිතින් බණිමින් නැගීසිටි මා,
මොහොතකට ගොළු වූයේ,ඇය දැකිමෙනුයි,මට "I'm sorry,I'm very sorry..", කීමට මතක් වූයේද යම් කාලයකට පසුවයි..
විදේශීය කෙල්ලක වූ ඈ,බැලූ බැල්මටම යුරෝපා රටකට අයත් වූ බව හදුනාගැනීමට ඕනැම අයෙකුට හැකි විය යුතුයි.
නිමේෂයකින් මගේ මතකය තුළ,නොමැකෙන ලෙසම ඇදෙන්නට ඇගේ රුව සමත් උණා.
ඇගෙන් ගිලිහුණු අයි පොඩය සහ වතුර බෝතලය අහුලා දුන් මා,සිනහවක් පා ඇය පසුකර යන්නට සූදානම් උණා.

"Thanx,Sorry i couldn't mind my language before.think you were checking out them." අප පසුකර යමින්

සිටි "ස්ලිම් කෙල්ලෙකු" පෙන්වමින්,ඇය කියා සිටියෙ සරදම් සහගත මදහසක් මුහුණේ රඳවාගනයි.
ඇයගේ සෘජු භාවය හමුවේ දෙන්නට පිළිතුරක් නොවූ මා,"කඩු සටන්" පිළිබඳවද වැඩි කැමැත්තක් නොවූයෙන් වචන කීපයකින් ඇය හා සංවාදය නිමකර ලිස්සා ගියා.

පියවර කිහිපයක් ඉදිරියට යද්දි, "පට්ට කෑල්ල නේද අයියෙ?" මලයා ඇසූ ප්‍රශ්නයෙනුයි ඔහු සිටි බව මතක් උණෙ.
ඔහුටද මා සම වයැසියෙකු නොවන බව මතක් වන්නට ඇත්තෙ යම් කිසි කාලයකට පසුව විය යුතුයි.මක් නිසාද ඔහු කිසිවිටෙකත් මා ඉදිරියේ එවන් ප්‍රකාශ නොකිරීමට සෑම විටම වග බලාගත් නිසා.

මා ඇය දෙස කීපවරක් නැවත හැරී බැලුවත්, ඉක්මනින්ම ඈතට ඇදී ගිය ඈ ටික වේලාවකින් නොපෙනී ගියා.නිදහසේ චතුරශ්‍රය වටා ඇවිදිමින් හොඳ හැටි එය බලාගත් අප නැවතත් නවාතැනට පැමිණෙද්දි රාත්‍රි 8ත් ඉක්ම ගොස්.

මෙහි මීළඟ ආරම්භය ලියවෙන්නෙ,මෙයින් සති කීපයකට පසුව විශ්වවිද්‍යාලය ඇරඹුමත් සමගයි...

මල් සමයක් නොවූ අපට,වැසි සමය අවසානයේ,තවත් අමුත්තන් පිරිසක් විශ්වවිද්‍යාලය තුළ දැක ගන්නට ලැබුණා,
අධ්‍යාපන ඇමත්තාගේ "ඇස් රවුං උන්,බෝල උං,කලු උං සුදු උං.." ප්‍රකාශය සැබෑ කරමින් විදේශික සිසුන් අධ්‍යන වාරය සදහා පැමිණ සිටියා,

ඔවුන් අතර ඇයද සිටීම,අහඹුවක් වන්නට ඇති,
දුටු සැණින් මා ඇය හදුනාගත්තද,කතාවට මුල පිරුවේ ඇය වීම මගේ සංස්කෘතික බැම්මද,නැතිනම් සිත යට තිබූ ලැජ්ජාවක සේයාවද යන්න තවමත් වටහා ගැනිමට අපහසු වන්නක්.

"You are the one that..."ලෙස ඇරඹුණු ඇය සහ මගේ සල්ලාපය දෙස මාගේ මිතුරන් බලා සිටියේ විස්මයෙන්.
එය අවසන් වූ වහාම "පට්ට කෑල්ලක්නෙ බං,උඹ කොහොමද ඒකිව දන්නෙ?" පැනය නිතැතින්ම මා වෙත එල්ල වූවා.
සත්‍යම කතාව ඔවුන් හා පැවසුවත්,මා විශ්වාස නොකළ ඔවුන් ඇය සහ මා වෙනත් ක්‍රමයකින් හදුනන්නන් බවට සැක කළා.

දේශන ශාලාවෙ යාබද අසුන් දෙකක දිනපතා අසුන් ගෙන සිටීමෙන් ආරම්භ වූ,ඇයගේ,මට සමීප වීම මට යම් තරමක පුදුමයක් ඌවත්,නොදන්නා පුත්ගලයින් අතර "ඇඟේ හැපීමෙන්" හෝ,දන්නා පුත්ගලයාට සමීප වීමෙ පුදුමයක් නැතැයි,මා එය සාධාරණීකරණය කළා.

මගේ මවට පසු,මා තේරුම් ගැනීමට වැඩිම හැකියාවක් දැක්වූ ඇය,මා දුරස්ථව සිටියදී පවා මාගේ හැඟීම් පිළිබඳව දැනගන්නේ කෙසේදැයි අදටත් ප්‍රශ්නයක්,

කලක් ගත වීමේදී ඇය පිළිබඳ යම් හැඟීම් ගොන්නක් මා තුළ ඇති උවත්,ඉඟියක්වත් ඇයට නොපෑමට මා තීරණය කළේ,හොඳ මිතුරියක් අහිමි කර ගැනීමේ වේදනාවට මා කලින් මුහුණ පා ඇති නිසා.

මා සමුගන්නේ ඔබේ පරිකල්පනයට අවසානය නීර්ණය කර ගැනීමට,
මා තරම් සංස්කෘතික බැම්මකින් ඇය බැදී සිටියේ නැති බවත්,
හැඟීම් වචනයට පෙරළීමට ඇයට මා තරම් බියක් තිබුණේ නැති බවත්,
ඉඟි වලට ලබා දෙමින්!!........................

Tuesday, September 20, 2011

නැවත ජීවත් වෙන්නට ඇත්නම්..


දෙතුන් පාරක් ගැස්සුණු බල්බ් එක එක පාරටම පත්තු උණා,
වැඩි වෙච්චි එළියත් එක්කම මට මතක් උණේ අවුරුද්දකට කලින් පෙර හැර බලන්න ආපු හැටි..

රටේ නැති නිදහසට කරුණු ගෙවල් වලට කියලා,දෙන්නත් එක්ක ගෙවල් වලින් පැනලා පෙරහැර බලන්න ගියා.
අනිත් උං හෝටල් ගානෙ යද්දි,අපි අත් අල්ලගන පෙරහැර බැලුවා,පෙරහැරේ යන අලි ගණං කළා,මහ වැස්සෙ අයිස් ක්‍රීම් කෑවා,කොහොම හරි මඩ ගොඩේ වාඩිවෙලා පෙරහැරත් ඉවර වෙනකන්ම බැලුවා.බලලා ගෙවල් වලට යනකොට මහ රෑ වෙලා,දෙන්නම ගෙවල් වලින් බැණුමුත් අහගත්තා.

එතකොට අපි දෙන්නම ඒ ලෙවල් කරලා,කැම්පස් වලටත් තේරිලා අධ්‍යාපන ඇමතිට පිං සිද්ධ වෙන්න ගෙදර ගතකරන දොළොස්වෙනි මාසෙ,
අපිට ජීවිතේ ගැන එච්චර බරක් තිබුණෙ නෑ.හැම දේම කරන්න අම්මලා තාත්තලා හිටියානෙ.
හැමදෙයක්ම සැහැල්ලුවෙන් ගත්තු මට,වැඩිය කිසිදෙයක් ගැන නොසලකපු එයා හොඳට ගැලපුනා.
අපි දෙන්නා තේරිලා තිබුණෙ විශ්වවිද්‍යාල දෙකකට උණත් ඒක එච්චර ප්‍රශ්නයක් කරගත්තෙ නෑ.
මම හිතෙන්නෙ අපි ඇත්තටම ආදරය කරන්න ඇති.

ප්‍රශ්න ඔක්කොම පටන් ගත්තෙ කැම්පස් පටන් අරන් මාස කීපයකට පස්සෙ,
අනතුරු හැඟවීමක් නැතුවම තාත්තා අපිව දාලා ගියා,
අම්මට පවුල තනියම ජීවත් කරවලා මටත් වියදම් කරන්න විදියක් නොතිබුණු හන්දා විශ්වවිද්‍යාල ජීවිතේට සමු දුන්නු මම පවුලෙ බරට කර ගහන්න රස්සාවක් හොයාගත්තා.

ඔක්කොම උණාට පස්සෙයි මම එයා ගැන කල්පනා කරන්න ගත්තෙ.
ජීවිතේ බර දැනෙන්න පටන් ගත්තට පස්සෙ මම හුඟක් කල්පනා කරන්න ගත්තා,
ටිකක් අලුත් පන්නෙට හැදිච්චි කෙල්ලෙක් උණු එයාට,කැම්පස් එකෙන් අවුට් වෙලා,ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්වෙලා හිටපු මගෙත් එක්ක ජීවත් වෙන්න පුළුවන් උණත්,සෙමෙස්ටරයක්වත් කැම්පස් එකේ ඉන්නෙ නැතුව රස්සාවක් හොයාගත්තු මගෙත් එක්ක ඉන්න බැරිවෙයි කියලා මට හොදටම පෙනුණා,
එයා මට කොච්චර ආදරේ උණත් මට එයාව සතුටෙන් තියන්න බැරි බව පැහැදිලිවම පෙනුණා,

මම එයාගෙ දුරකථන ඇමතුම් වලටයි,කෙටි පණිවුඩ වලටයි ප්‍රතිචාර දක්වන එක ටිකින් ටික මග ඇරියා
හැඟීම් වලට ඉඩ දුන්නොත් මගේ විතරක් නෙවෙයි එයාගෙ ජීවිතෙත් අවුල් ජාලයක් වෙන හන්දා,
එයා මුලින් හිතුවෙ මම වෙච්චි දේවල් නිසා දුකින් වෙන්න ඇති කියලා,නමුත් පස්සෙ පස්සෙ එයා තේරුම් ගත්තා මම එයාව මග අරිනවා කියලා.
සම්පූර්ණයෙන්ම සම්බන්ධෙ මගේ පැත්තෙන් නවත්තලා ටික කාලෙකට පස්සෙ,
එයා ගෙදරට ආවා මාව හොයාගන,මම හැංගුණා,මම ආදරේ කරන කෙල්ලගෙන්ම මට හැංගෙන්න සිද්ධ උණා,
එයා මට තිබුණු ආදරය ඇරෙන්න එයාට මාව හොයාගන එන්න වෙන හේතුවක් තිබුණෙ නෑ,මම එයාට කිසිම වැරැද්දක් කරලා තිබුණෙ නෑ.
කොච්චර ආදරේ උණත් මම හැංගුණේ අනාගතය ගැන හිතලා,
කවදා හරි සමාජයේ ඉහළ තලයකට යන එයාට,මගෙත් එක්ක ජීවිතයක් තිබුණෙ නෑ..

ඔක්කොටම දැන් අවුරුද්දක්,
කොහොම හිතුවත්,එයා මේ අවුරුද්දෙත් මෙතනට එයි කියලා මගේ හිතේ කොනක බලා පොරොත්තුවක් තියනවා..

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...................................................................
බල්බ් එක ආයිමත් නිමිලා..............
හිතේ බලාපොරොත්තු වගේම.......................................
පහන් කණුවට යටින් ගිනිබෝල කාරයො යන්නෙ,බලාපොරොත්තු ආයිත් දල්වන්න වගේ......

සුපුරුදු හඬක් ,

ඈ...................



"මම හිතුවා ඔයා මෙතන ඇති කියලා!!........."

Monday, September 19, 2011

ලංකාවේ පාරිභෝගික සේවය හෙවත් පාරිභෝගිකයා බල්ලාට දැමීම


පාරිභෝගික සේවයක් කියන්නෙ යම් කිසි භාණ්ඩයක හෝ සේවාවක් පිළිබඳව පාරිභෝගිකයෙකුට ඇතිවෙන ප්‍රශ්න විසඳලා දෙන්න ඉන්න කට්ටියකටනෙ..
වෙන රටවලනම් මේවා පාරිභෝගිකයා දෙවියා කියන මුලධරමය යටතේ ක්‍රියාත්මක උණත්,ලංකාවෙ පාරිභෝගික සේවා නිලධාරීන් හිතාගන ඉන්නෙ උන් දෙයියො කියලා.

ජංගම දුරකථන ජාල වල පාරිභෝගික සේවා සලකපුවහම හුළංටෙල්(එයාටෙල්) ජාලයේ තමා එපාම කරපු පාරිභෝගික සේවය තියෙන්නෙ,කෝල් එකක් දුන්නාම ටක්ගාල පෝං එක ඉස්සුවා උණත් මෙලෝ මගුලක් දන්නෙ නෑ එතන ඉන්න කට්ටිය.
ඒ ගොල්ලො දන්නෙ "ජීපීආර්ඇස් සෙටිං හදන්නෙ මෙහෙමයි","පෝන් එක විනාඩි 10ක් ඕෆ් කරලා තියන්න".."ඕක අපේ වැරැද්දක් නෙවෙයි". කියන වචන සෙට් එක විතරයි.
හැබැයි ලංකාවටම හරියන පාරිභෝගික සේවෙ..මොකද අපේ උංට ඕනි පෝං එකෙං ෆේස්බුක් යන්න විතරනෙ.

ඊ ළඟට මොබිටෙල්,
ඒකෙ පාරිභෝගික සේවෙ කොටස් දෙකක් තියනවා(මම දැකලා තියන විදියට),එකක් අර හුළං ටෙල් එකේ වගේම ඉස්සරහා තියන පරිගණක තිරේ දිහා බලාගන කියවන්න විතරක් දන්න සෙට් එක,
අනික ඊට වඩා ටිකක් දැනුම තියන,ඒත් ඔක්කොම දන්නවා කියලා හිතාගන ඉන්න සෙට් එක,
පාරිභෝගික සේවෙට කතා කරන්න පුළුවන් මාසෙට දෙපාරයි,ගාණක් කපාගන්නෙ නැතුව..ඊට වඩා ගත්තොත් ඇමතුමකට 1.50ක්ද කොහෙද කපනවා :/ :/ (ඒකත් ඉතිං අපේ සෙට් එක කෝල් කරලා එතන ඉන්න අක්කලගෙන් ආතල් ගන්න හන්දා දාපු නීතියක් වෙන්න ඕනි)
කෝල් එකක් දීපුවාම රටේ නැති ඇඩ් ටික දාල පෝන් එකේ බැටරිය බහින්න ඔන්න මෙන්න තියෙද්දි අර පලවෙනි ජාතියෙං කෙනෙක් උස්සනවා පෝං එක..උස්සලා අහනවා "මම මෙන්න මෙයා,කොහොමද ඔයාට උදවු කරන්න ඕනි?"
ඔන්න ප්‍රශ්නෙ කිව්වාම ඕකෙ එක වචනෙකවත් ඉන්ටනෙට් ගැවිලා තිබුණොත්,ගහනවා පරණ රෝළම ජීපීආර්ඇස් සෙටිං හදන්න මෙහෙම කරන්න බ්ලා බ්ලා...මුං හිතාගන ඉන්නෙ ඉන්ටනෙට් අවුල් යන්නෙ සෙටිං අවුල් උණොත් විතරයි කියලා..දැං මෙතන කියන විදියට කරලා හරිගියෙ නැතොත් ආයි පාරක් කෝල් කරලා බර වචන දෙකක් තුනක් කියලා සද්දෙ දැම්මොත් අපි ඔයාව නෙට්වර්ක් අංසෙට දාන්නම් කියලා දානවා අර දෙවනි ජාතියෙ එක්කෙනෙක් ලයින් එකට (තව පැය බාගයක්වත් සින්දු අහන්න වෙනවා :P)
උං හිතාගන ඉන්නෙ උං තමා සුපිරි වැඩ්ඩො කතාකරන අපි මුකුත්ම දන්නෙ නෑ කියලා.ඉතිං පෝං එකේ ජාතිය අහලා පරණ රෝළම මුල ඉදංම ගහනවා.ගහලා හරි ගියෙ නැතොත් කියනවා ඉන්න අපි කම්ප්ලේන් එකක් දාන්නම්,දාලා ආයිත් සම්බන්ධ කරගන්නම් කියලා..සුමානෙකට විතර පස්සෙ ආයි කෝල් කරලා කියනවා "එහෙම ප්‍රශ්නයක් තියෙන්න බෑ,අපි හොදට චෙක් කළා කියලා :/ ඒත් ප්‍රශ්නෙ එහෙමමයි"

ඩයලොග් පාරිභෝගික සේවෙ ටිකක් හොදයි,
ටක්ගාල පෝං එක උස්සනවා වගේම හොඳ තාක්ෂණික දැනුමකුත් තියනවා ඒකෙ නිලධාරීන්ට.ඒත් ඉතිං "අලි ඔළුව" නම් එහෙමමයි..හිතාගන ඉන්නෙ අපි ඔටුවො කියලා :P

අනිත් මොබයිල් නෙට්වර්ක්ස් කොහොමද දන්නෙ නෑ.මම එවා පාවිච්චි කරලා නෑ.. :P

ඉතිං පාරිභෝගික සේවෙ කියන්න ඕකම නෙවෙයිනෙ..කඩේකට ගියාම අර හිනාවෙවී නැත්නම් ඔරෝගන (කඩේ හැටියට) ඉන්න මල් පෝච්චි අක්කලාට කියන්නෙත් පාරිභෝගික සේවා නිලධාරීන් කියලම තමා (අලෙවි නිලධාරීන් කියලත් කියනවා මම හිතන්නෙ)

කඩවල් වල බැලුවොත් හොඳම පාරීභෝගික සේවෙ තියෙන්නෙ රෙදි කඩවල :D රෙද්දක් ගන්නකං අපේ පස්සෙ කැරකි කැරකි මේක හොඳයි,මේකනම් ඔයාට මැච් වෙන්නෙ නෑ කියන අය (හුඟක් වෙලාවට අක්කලා සමහර වෙලාවට අයියලා) හුඟක් හොඳ පාරිභෝගික සේවයක් සපයලා තියනවා...මේක මෙහෙම වෙන්නෙ මම හිතන්නෙ මේ ගොල්ලන්ගෙ පඩිය තමන් සේවය කරන පාරිභෝගිකයන්ට විකුණන අයිතම ප්‍රමාණය මත රඳාපවතින නිසා වෙන්න ඕනි. :D

නරකම පාරිභෝගික සේවය තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික්/පරිගණක/පෝං කඩවල,
මේ කට්ටිය පාරිභෝගිකයොත් එක්ක කිසිම සුහධතාවයක් නෑ :/ "ආවනං අරං පලයං" කියන විදියට තමා ඉන්නෙ.මොකද මේ ගොල්ලන්ට ඇති තරම් පාරිභෝගිකයො ඉන්නවා.මූණෙ හිනාවක් නැති මහ එපාම කරපු සෙට් එකක් තමා මේ ගොල්ලො.හුඟක් වෙලාවට අපිනම් කරන්නෙ මේ ගොල්ලන්ට තදවෙන්න වැඩ සලස්වන එකම තමා..බඩුවක් ගන්න ගියාම අලි ලයින් බලන්න අපිත් කැමති නෑනෙ :P

හනේ මේ ඇති පස්සෙ ආයි තද උණු වෙලාවක ඉතුරු ටික...

Wednesday, September 14, 2011

ඔබේ ඒ ආදරය,ලබන්නට ඇත්නම්........................

උදෑසන නැගෙද්දි,
වැටෙන හිරු කිරන තුල,
ඔබ බදා නලල් තල,
සිපින්නට ඇත්නම්......

සදා කල් ඔබ ලඟින්,
ඔබට දිරියක් වෙමින්,
මහා නුග රුකක් සේ,
රැඳෙන්නට ඇත්නම්.......

ඔබ ගිලන් ඌ විටෙක,
නුහුරු නුපුරුදු අතින්,
මා හැදූ අහර පිඩ,
කවන්නට ඇත්නම්........

ජීවිතය විඳින්නට,
සදාකල් ඇවැසි වූ,
ඔබේ ඒ ආදරය,
ලබන්නට ඇත්නම්........................

Sunday, September 11, 2011

මම ඔයාට කියන්නෙ නෑ...........


මම ඔයාට කියන්නෙ නෑ,
අඬන්නෙ නැතුව ඉන්න මගේ ලඟට එන්න කියලා,
ඒත්,
ඔයා අඬනකොට මමත් ලඟින් ඉදගන අඬන්නම්..

මම ඔයාට පොරොන්දු වෙන්නෙ නෑ,
හැම්දාම ඔයාව හිනස්සනවා කියලා,
ඒත්,
ඔයා හිනා වෙනකොට මමත් හිනා වෙන්නම්..

මට ඔයාට කියන්න බෑ,
ලෝකෙ කඩා නොවැටේවි කියල,
ඒත්,
ඒක කඩා වැටෙනකොට මම ඔයාගෙ ලඟින්ම ඉන්නම්,
ඔයත් එක්කම වැටෙන්න..

මම ඔයාට කියන්නෙ නෑ,
මම හැමදාම ඔයා ලඟ ඉදීවි කියලා,
ඒත්,
ඔයාට ඕනි වෙන වෙලාවට මම ඔයාගෙ අත ගන්න ඉඳිවි .............

Monday, September 5, 2011

මොහොතකට අප දෙවියන් වීමු


එය.....
නැත්නම් ඌ කියලා හදුන්වන්නත් පුලුවන්,
ඇත්තටම ජීවයේ සීමාවන් තවමත් අපි දන්නෙ නැති හන්දා.

මුලදි අපි හිතුවෙ නෑ අපි කරේ ජීවය නිපදවීම කියලා,
ස්ව්භාවදර්මය පමන්ක් කල යුතු වූ හුඟක් දේවල් අතට ගත්තා වගේම,ජීවය නිපදවිම අපේ අතට නොදැනුවත්වම අරන් කියලා දැනෙද්දි කෝච්චිය ගිහින් ඉවරයි...

කතාව පටන් ගන්න මුලක් හොයාගන්න බැරි හන්දයි මේ වටේ යන්නෙ..
කොහොම කියන්නද දෙවියන්ගෙ වගකීම් අතට අරගන,ලෝකෙම වලකට ඇදලා දාපු කතාව..

කියන්නෙ මම හන්දා මගෙන්ම පටන් ගන්නම්,
මම ගොඩක් දේවල් ඉගන ගත්තු,ඒවා යොදා ගැනීම හරියට කරපු,ලැබෙන ප්‍රතිඵලේ අනුමාන නොකරපු මිනිහෙක්.
ඉගන ගන්න තියන ආසාවටම එකිනෙකට වෙනස් ක්ශේත්‍ර වලින් පශ්චාත් උපාදි 5ක් සම්පූර්න කරපු මට,
ඇමරිකාවෙ නාසා ආයතනයෙන් රැකියා ඇරයුමක් ලැබෙද්දි මට මුලු ලෝකෙම හොදම පරීක්ශනාගාර පහසුකම් ලැබුනා..

ඔක්කොටම හේතු උනේ දවසක් අපි කරමින් හිටිය "වයිරසයක ව්‍යුහය නැනෝ යන්ත්‍රයකට ආදර්ශනය කිරීම" කියන පරීක්ශනය ධන ප්‍රතිඵල පෙන්වීමත් එක්ක.
එදා අපිට ආදර්ශනය කරගන්න පුලුවං උනේ වයිරසයකින් 10% වගේ ප්‍රමානයක් උනත්,
අවුරුදු කීපයක පරීක්ශන වලින් මේ ප්‍රතිශතය 75% දක්වා ගෙන එන්න පුලුවං උනා,
සාමන්‍ය කාබන් නැනෝ නාල සහ තනි පරමානු ස්තරයේ ගැපයිට් පාවිච්චි කරමින් කරපු මේ පරික්ශන වල අවසානයට අපිට වයිරසයක මූලික ක්‍රියාකාර කම උනු ප්‍රතිජනනය ආදර්ශනය කරන්න පුලුවං උනා,
කාබනික මාද්‍යක අපි දෙන විද්‍යුත් උපදෙස් භාවිතයෙන් ඒවා ප්‍රති ජනනය උනා(කාබනික මාද්‍ය ජීවි එකක් කියලා කියන්න ඕනි නෑනෙ).
ඒත් අපේ පරීක්ශන 100% සාර්තක නොවුනෙ වයිරසයක තිබුනු බුධ්දිමත් ස්වහාවය ආදර්ශනය කරගන්න ඒ වෙනකොටත් අපිට බැරි වෙලා තිබුනු හන්දා.
වයිරසය අනුකරනය කිරීම කොච්චර කලත් 75%න් එහාට ගිනියන්න අපිට බැරි උනු හන්දා අසාර්තක තවත් පරීක්ශනයක් කියලා අපි ඒක පැත්තකට කරලා දැම්මා.

ඊ ලඟට කතාවට වැදගත් වෙන කොටස තියෙන්නෙ අවුරුදු කීපයකට පස්සෙ ප්‍රතිවාදී අභ්‍යාවකාශ ගවේශන ආයතනයකින් නෙප්චූන්ට යවන රෝවරේකට වැරදි දත්ත ආපසු එවන විදියට පරිගනක වයිරසයක් සකස් කරන කන්ඩායමක නායකයා වීමත් එක්ක.
මේක සාර්තකව නිමාකරලා ලැබුනු විවේකයෙදි,මට නැවතත් අර පරන නැනෝ පරීක්ශනයේ වාර්තා දකින්න හම්බ වෙනවා,
එතනදි එන පිස්සු අදහසක් ව්‍යාපෘති යෝජනාවක් කරලා ආයතනයට ඉදිරිපත් කරද්දි හුඟක් දෙනා මගේ දිහා පිස්සෙක් විදියට බැලුවත්,මගේ කලින් පිස්සු අදහස් හුඟක් දුරට සාර්තක උනු හන්දා,
ආයතනයෙන් ව්‍යාපෘතිය සදහා අවශ්‍ය ප්‍රතීපාදන සපයන්න එකඟ වෙනවා,

මගේ අදහස වෙන්නෙ කලින් සකසපු නැනෝ වයිරස ආදර්ශනයත් එක්ක පස්සෙ රෝවරයට යවන්න හදපු කෘතීම බුද්දි වයිරසය එකතු කිරීම..බැලූ බැල්මට අතාත්විකයි කියලා පෙනුනට ලොකු වැඩ කොටසකින් පස්සෙ අපිට පුලුවං වෙනවා මෘදුකාංගමය කොටසකින් සහ පදාර්තමය කොටසකින් සමන්විත නැනෝ පරිගනක වයිරසයක් ගොඩනගන්න.
ඒක පරිගනක වයිරසයක් කියලා හදුන්වපු එකේ නිවැරදි භාවය ප්‍රස්නයක් උනත් ඒ දවස් වල ඒක පරිගනක වයිරසයක් පමනක් උනේ මෘදුකාංගමය කොටස හන්දා.ඒක ජීවත් වෙන්න පරිගනකය අත්‍යාවශ්‍ය උනා.වයිරසයට ජීවත් වෙන්න හැකි උනේ පරිගනක පද්දතියක් තුල පමනයි.ලෝහ අයන සහ කාබන් නැනෝ නාල අන්තර්සම්බන්දය පිලිබදව පරීක්ශන වලින් අපි සම්පූර්න වයිරසයම පරිගනක පද්දති තුල පවත්වාගන්න පුලුවන් විදියට සැකසුවා.
නමුත් ඒකට පරිගනක පද්දතියක් තුල ගුනනය වෙන්න හැකියාවක් තිබුනේ නෑ.මොකද කාබනික මාද්‍ය නොතිබුනු නිසා.ගුනනය වෙන්න කාබනික මාද්‍යකට ආවත් බාහිර උදවුවකින් තොරව ගුනනය වෙන්න බැරි වෙන්නෙ මෘදුකාංගමය කොටස ක්‍රියාත්මක වෙන්නෙ පරිගනක පද්දතියක පමනක් හන්දා..

වයිරසයට දෘඩාංගමය සම්බන්දයක් තියන ඕනෑම පරිගනක ජාලයක් හරහා ගමන් කල හැකි උනත් ඒක එච්චර ලොකු ප්‍රස්නයක් නොවුනෙ ගුනනය වීමක් නැති හන්දා.
පරික්ශනය සාර්තක උනා වගේම අපි ඒකෙන් විශාල වැඩ ප්‍රමානයක් ගත්තා.වයිරසයේ බුද්දිමය ස්වභාවය වගේම පරිගනක පද්දතියක සැඟවීමෙ හැකියාවකුත් තිබුනු හන්දා ඔත්තු බැලීමේ කටයුතු සදහා වැඩයෙන්ම මේක යොදා ගත්තා.

ඔක්කොම වෙනස් වෙන්න පටන් ගත්තෙ පලමු වානිජ මොල පරිගනක අතුරු මුහුනත(BCI-Brain computer interface) වෙලද පොලට නිකුත් වීමත් එක්ක.මෙච්චර කල් කාබනික මාද්‍ය සහ පරිගනක පද්දතිය එකට නොලැබුනු වයිරසයට ඒ දෙකම එකට ලැබෙන්න පටන් ගත්තා.මිනිස් සිරුර සහ මිනිස් මොලය..
පලමු වානිජ මොල පරිගනක අතුරු මුහුනත නිකුත් වීමෙන් මාස කිහිපයකට පස්සෙ පලමු ආසාදිතයා වාර්තා උනා.වයිරසය මගින් සිරුරට කල දේවල් මම කියන්න යන්නෙ නැහැ.ආසාදිතයින් මැරුනෙ නෑ කියලා විතරක් කියන්නම්..කතාවෙ ඉතුරු ටිකත් සෑහෙන්න පැහැදිලි ඇති.
සම්පූර්නයෙන්ම නව ජීව විශේශයක් උනු මෙය තව දුරටත් වයිරසයක් කියලා හදුන්වන එක සාදාරන උනේ නෑ.මිනිස් ප්‍රතිශක්තීකරන පද්දතියේ දුර්වලතා හදුනා ගත්තු මෙය විවිද ක්‍රම වලට පැතිරෙන්න පටන් ගත්තා.මේ කාලයේදීම සමහර වයිරස,ස්ඵටිකීකරනයවෙන අවස්තා වලදි දක්වන ව්‍යුහ වෙනස් වීම් මෙයිනුත් වාර්තා වෙන්න පටන් ගත්තා.
එතනින් එහාට කතාව කීමේ තේරුමක් නෑ..

දෙවියන් වෙන්න උත්සාහ කරපු අපි දැන් දෙවියන් වගේම තනිවෙලා මරණය එන තුරු බලා ඉන්නවා.....
කවුරු හරි කෙනෙක් මේක කියවනවනම් කියන්න තියෙන්නෙ "ඔබ වාසනාවන්තයි,කිසිදාක ස්වභාවදර්මයේ ක්‍රියා පාලනය කිරීමට උත්සාහ නොකරන්න!" කියලා..

ඉතින් ආයුබෝවන්....................................................................................