Friday, November 15, 2013

සිහින "ඈ"..........................................

"ඔයා යන්න, මම එන්නම්",

කෝච්චිය ගමන් ආරම්භ කරන සද්දෙට එයාගෙ කටහඬේ හැංගිච්චි ඉකිය නෑහුනත් ඈ අඬන බව රහසක් නොවුනෙ මොහොතකට කලින් එයා කම්මුලෙන් පිහිදාලා ඇරපු කඳුලු බින්දුව මම දැකපු හන්දයි,

ඉතින්, එයාව අඬවලා මම කොහෙද මේ යන්නෙ?,

මම යන්නෙ ඈතකට, හුඟාක් ඈතකට. ඇත්තටම කියනවනම් කිලෝමීටර දහස් ගනනකින් වෙන් වුනු ඈතකට,

ඇයි?,ඇයි මම යන්නෙ?,

ඒක ටිකාක් විතර දිග කතාවක්,
දිග කතාවක්, එච්චරම දිග නැති වචන පෝලිමක හිර කරන්න හදනකොට, පොඩ්ඩක් විතර මග ඇරෙන එක සාදාරනයිනෙ?,
ඉතින්, ඒ වගේ තැන් ඔයාලගෙ මතකයෙන් ගන්න තැන් වලින්, ඔයාලගෙ පරිකල්පනයෙන් පුරෝගන්න ලැජ්ජ වෙන්න එපා..

හරි එහෙනම්,

මම සරසවියෙන් පටන් ගන්නම්, මොකද මට එයාව හම්බ වුනේ එතනදි හන්දා,
ඇත්තම කියනවනම්.. මට සරසවියෙන් හම්බ වෙච්චි එකම වටිනා දේ එයා,
එයා හම්බ වෙන කාලේ වෙද්දි මම සරසවියට ගොඩ වැදිලා අවුරුදු දෙකකටත් වැඩී,
සරසවිය කියන්නෙ මම බලාපොරොත්තු වෙච්චි දේ නොවෙන හන්දත්,
උගන්නපු මෙලෝම දෙයක් හරියකට නොතේරුනු හන්දත්,
මම හිටියෙ මහ ලොකු මානසික අවපීඩන තත්වයක වෙන්න ඕනි කියලා මම හිතනවා,
ජීවිතඛැම අඳුරු කාලෙකම මගෙත් එක්ක හිටිය මගේම කවිකාර හිතත්, මේ කාලෙ වෙද්දි හොඳටම නිදාගන හිටියෙ,

ඈ මට හමුවෙන්නෙනම් 'සොඳුරු' කියලා කියන්න පුලුවන් ඇත්තම අහම්බයකින්,
සරසවි භාශාවෙන් කියනවනම් හොදටම 'ඩිප' දාගන සරසවියෙ තියන සියගනනක් පාරවල් දිගේ අරමුනක් නැතුව ඔහේ ඇවිදගන යන එක හැන්දෑවක,
කොහේදෝ හදිස්සියේ යමින් ඉන්න ඈ මගේ ඇඟේ හැප්පෙනවා,(ඇ එදා කොහෙද ගියෙ කියලා අහන්න මම හැමදාම හිතේ තියාගන හිටියත්. මට හැමදාම ඒක මතක නැති වෙනවා)
හැපිච්චි පාරට පියවි ලෝකෙට විසිවෙන මම දකින්නෙ ඇගේ අතේ තිබිලා වැටුනු සටහන් වගයක් ඇහිදින්න පහතට නැමෙන ඈ,
සම වයස් යුවතියකට වඩා බැලු බැල්මට වෙනසක් පෙනුනු ඈ,
ඇඳුමෙනුත් වෙනස් කමක් පෙන්නුවෙ මොකද කියලා මම දැක්කෙ ඈ නැගිට්ටට පස්සෙයි,
පිරිමි අඳින විදියෙ ඩෙනිම් කලිසමක් ඇඳලා හිටපු ඈ ඇදල හිටපු ටී ශර්ට් එකේ ලොකුවට "Google" කියලා ගහලා තිබුනා,
එන්න ඒ මොහොතේ මගේ ඔලුවට ආපු අදහස තමයි,

"මෙයානම් මම වගේ",
කියන එක,

වචනයක්වත් නොකියා කටත් ඇරගන බලා හිටපු මා දිහා මොහොතකට බලා හිටපු ඈ, ඊ ලඟ මොහොතේ හිනාවකින් පුපුරා හැලෙන්න ගත්තා,
තවත් ටිකක් කට ඇරගන ඈ හිනාවෙන දිහා බලා හිට්පු මට තිබුන ප්‍රශ්නෙ ඈ හිනාවෙන්නෙ ඇයි කියන එකයි,
කොහොම උනත් ටික වෙලාවකි හිනාව නවත්තපු ඈ,
"ඔයා වෙනස්", කියලා මගේ කනට කොඳුරගන ආපු වේගෙන්ම දුවන්න පටන් ගත්තා,
වෙච්චි දෙයින් ඔලුව කුරුවල් වෙලා හිටපු මට "සොරි" කියාගන්නවත් මතක් වුනේ ඈ සෑහෙන්න ඈතට ගියාට පස්සෙ,
ඉතින් අපේ පලමු හමුවීම නිමා වෙන්නෙ එන්න එහෙමයි..

දහස් ගනනක් සිසුන් ඉන්න සරසවිය ඇතුලෙ නමක් ගමක්, ෆැකල්ටියක් හෝ අඩු තරමෙ බැජ් එකවත් නොදන්න ඈව ආයිත් හමුවෙන්න තියන සම්භාවීතාව කොච්චර අඩු වුනත්,
අපි දවසක දෙවනි වතාවටත් හමුවෙනවා,

ඒකත් ටිකක් නුහුරු අහම්බයක්.
මොකක් හරි වුවමනාවකට අගනුවරට යන්න කෝච්චියට ගොඩවෙන මම සුපුරුදු "ඩිපෙන්" ඔහේ ගිහිල්ලා ආසනයක වාඩි වෙනවා,
ටිකක් වෙලා කල්පනා කරකර ඉන්න මම නුපුරුදු ගතියක් දැනිලා ඇස් දෙක හරවලා බලද්දි දකින්නෙ අසුන් පේලි කීපයක් ඉදිරියෙන් ඉඳගන අත වනන ඈ!,
අනික් අතින් ඈ ඇගේ අතේ තිබුනු බෑගය ඈ අසල තිබුනු අසුනට තෙරපගන හිටියෙ හරියට මට සීට් එක අල්ලගන හිටියා වගේ,
ඇගේ අත වැනිල්ල මට පෙනුනා කියල ඈට තේරුනු වෙලාවෙ ඇගේ මූනෙ මතු වුනේ හරියට ජීවිත කාලෙටම දැනන් හිටපු මනුස්සයෙක් දැක්කා වගෙ ලොකු හිනාවක්,
ඊ ලඟට මට අත වනලා ලඟට කතා කරපු ඈ අර අල්ලගන හිටපු සීට් එකේ මට වාඩිවෙන්න කියලා ආරාදනා කලා
මවාගන්න දෙයක් නොතිබුනු හිනා මූන ඈට පාලා මම එතනින් වාඩි වුනේ ඇත්තටම ඈ මුලු ජීවිත කාලයක් මාව දැනගන හිටියද කියලා පුදුම වෙමින්,

කෝච්චිය හෙමින් ගමන පටන් ගත්තට පස්සෙ දොඩමලු වුනු අපි මුලු ලෝකයම ගැන කතා කලා.
පුදුමයකට වගේ ඈත් මම පොඩි කාලෙ ඉඳලම බොහොම ආස කරපු හැම ක්ශේස්තරයකට වගේම ඇලුම් කරපු නිසා,
ඈ ඉතාමත්ම ගැලපෙන ගමන් සඟයා වුනා වගේම අපිට කතාකරන්න දේවල් ඕනි තරම් තිබුනා,
ඈ වගේ "ගැහැනු ලමයි" සාමන්‍ය ලෝකයේ නොසිටීම මට පුදුමයක් වුනත් ඈ මොහොතකින් හෙලි කලා අගේ දෙමාපියන් සාමන්‍ය රාමුවෙන් පිටතට සිතූ මිනිසුන් බව,
ඔවුන් සාමන්‍ය සමාජය පිලිපදින බොහෝ රාමු පිලි නොපැද්දා වගේම, ඔවුන්ගේ එකම දරුවා වුනු ඈට, සාමාන්‍ය ගැහැනු දරුවෙකුට වඩා වෙනස්ව සිතන්නට හුරු කර තිබුනා,

කොහොම වුනත් එදා මම ඇගෙන් විමසපු විශේශ ප්‍රශ්නයක් වුනේ,
"ඇයි ඔයා එදා අරෙහෙම හිනා වුනෙ?" කියන එක,

ඒකට ඇගේ පිලිතුර වුනේ "එදා මම ආවෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ගැන කල්පනා කර කර, ඔයාගෙ ඇගේ හැප්පුනා විතරයි මට ප්‍රශ්නෙ අමතක වුනා, ඒ මදිවට මම ඉස්සිලා බලනකොට ඔයා කට ඇරන් මගෙ දිහා බලන් ඉන්නවා, ඉතින් හිනා යන්නෙ නැද්ද?"
ඈ ඇහුවා.
ඉතින් අපේ දෙවන හමුව අවසාන උනේ දුරකථන අංක සහ ෆේස්බුක් ගිනුම් තොරතුරු හුවමාරුවකින්  පස්සෙ,

කොහොම උනත් එදායින් පස්සෙ මට සුපුරුදු "ඩිප" කරදර කරන එක ටිකෙන් ටික අඩු වුනා,
මොකද ඈ හැම මොහොතකම මගෙ ලඟින් ඉන්න පටන් ගත්තු හන්දා,
මට අඬන්න ඕනි උනාම උරහිස දෙන්න ඈ හිටියා වගේම, ඈට අඬන්න ඕනි උනාම බලෙන්ම මගෙ උරහිස මත වැටෙන්න ඈ අමතක කලේ නෑ,
ඒ වගේම මගේ ගැන ඉගනගන්න තියන හැම කරුනක්ම ඈ ඉගන ගත්තා, අනිත් අතට ඇගේ ගැන පිටු ගනන් ලියන්න තරම් මට කියාදෙන්නත් ඈ අමතක කලේ නෑ,
මොකක් හරි හේතුවක් නිසා හැම මොහොතෙම මට ඈට අහුම්කන් දෙන්න බැරි වුනත්, මට ඕනි වෙච්ච හැම මොහොතකම මට ඇහුම්කන් දෙන්න සූදානමෙන් ඈ බලාගන හිටියා,
ඈ එක්ක ගතවෙච්චි හැම මොහොතකම මගේ "අඳුරු" ජීවිතේ ටිකින් ටික ආලෝකමත් වුනා.
ඉතින්, වෙන්න ඕනි විදියටම ඉතිහාසයේ මෙතන කියලා වෙන් කරන්න බැරි. මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි මොහොතක, විදියකට අපි පෙම්වතුන් වුනා..

හරි ඒත් ඉතින් ඇයි මම එයාව දාලා යන්නෙ?....
හ්ම්ම්.....
මෙහෙමයි,
ඈ කොහොම ජීවිතේට ලං වුනත්,
කොච්චර මගේ ජීවිතේ වෙනස් කලත්,
සරසවිය තවමත් මට හරියන තැනක් වුනේ නෑ,
ඈ කොච්චර උත්සාහ කලත්, දේශන ශාලාව කවදාවත්ම මට සොඳුරු තැනක් වුනේ නෑ,
ඔක්කොටම පස්සෙ ගැලවෙන්න මගක් හොය හොය හිටපු මට හදිසියෙම ආගන්තුක හිතවතෙක් ආරාදනා කරනවා,

"මචං අපි මෙහෙ අලුත් වැඩක් පටං ගන්නවා, උඹටත් ඕක එපා වෙලානෙ ඉන්නෙ, වරෙං",

ඔහුගෙ ආරාදනාව පිලිගන්නට මට තියන එකම බැඳීම වන්නෙ ඈ,
ඈ අවසානයෙ තීරණය කරනවා ඉතිරිවෙලා තියන වසරත් සරසවියෙ ගතකරලා මාත් එක්ක එකතුවෙන්නට,
ඈට ඇත්තටම ඕනි වෙන්නෙ මගෙත් එක්ක යන්න වුනත් ඈ කැමති වෙන්නෙ නෑ ඇගේ දෙමවුපියො මුලු ජීවිත කාලෙටම ඇගෙන් බලාපොරොත්තු වෙන එකම දේ අතර මග නතර කරන්න,

ඉතින් ඒකයි එයාගෙ ඇස් වල කඳුලු,
කොහොම වුනත්, අපි බලාපොරොත්තු වෙමු,
තව වසරකින් ඈ මගේ ලඟටම ඒවිය කියලා..

එක රහසක් කියන්නම්, කොච්චර දුර හිටියත් ඈ තාමත් ඕනිම වෙලාවක මගේ කන්දොස්කිරියාව අහගන ඉන්නවා :) ............................................................................................

Friday, June 28, 2013

මන්තරකාරි...............

ආයිත් ඔන්න මම කථාවක් කියන්නයි යන්නෙ,
මෙක................
හ්ම්ම්ම්ම්ම්....
අපි කියමු ලේසියට "මන්තර කාරියෙක්" ගැන කියලා,
මන්තර කාරියෙක් කිව්වට ඈ කෝපි කාලෙ මන්තර කාරියො වගේ වැරහැලි ඇඳුම් ඇඳගත්තු මායා කොස්සක් උඩ අහසින් ගමන් ගියපු කෙනෙක් නෙවෙයි,
ඈව හැම වෙලේම දැකගන්න හම්බ උනේ පපුවට හිර වෙන්න ඇදපු ප්‍රින්ටඩ් ටී ශර්ට් එකකුයි, ඇගට හිර වෙන්න ඇඳපු ඩෙනිම් කලිසමකුයි එක්ක තමා,
ආ තව ඈ අතේ හැම වෙලේම ටිකක් මිල අඳික ස්මාට් පෝන් එකකුත් දකින්න ලැබුනා,
ඈ ඕනි ගමනක් යන්න පාවිචි කලේ බස් එක තමා,
ඈට උඩිං යන්නත් පුලුවං ඇති,සමහර විට ඈ උඩිං යන්න කැමති නැතුව ඇති,
කොහොම උනත් කථාවට ඒක වැඩක් නෑ,
කථාව කියන මම ඒක දන්නෙත් නෑ,
ආ තව එකක් කියන්න අමතක උනා,
ඈ මන්තර කාරියෙක් උනාට ලස්සනයි,
එක පාරක් කවුරු හරි දැක්කොත් ආයිමත් හැරිලා බලන්න හිතෙන විදියෙ ලස්සනක් ඈට තිබුනා,
අනික ඉස්සර මන්තර කාරියො හිටියෙ රවාගන උනාට,දකින හැම මනුස්සයත් එක්කම මූන පුරා හිනාවෙන පුරුද්දක් ඈට තිබුනා,
ඉතිං ඈ සාස්තර කියන්න, ගුරුකං කරන්න ඉස්සර කට්ටිය වගෙඑ ගස් ගල් ගානෙ ගියෙ නෑ,
ජීවිතේට හොයන්න බැරි පැල, කඟවේන අං එහෙම ඉල්ලුවෙත් නෑ,
ඈ සාස්තරයක් කියන්න ඕනිනම් කරන්නෙ ඇගෙ ස්මාට් පෝන් එකට හෙඩ් සෙට් එක හයි කරලා කනේ ගහගන්න එකයි,
ඊට පස්සෙ මීඩියා ප්ලේයරෙන් "එකෝන්" ගෙ හරි "බීබර්" ගෙ හරි සින්දුවකට මිනිත්තු කීපයක් සවන් දෙන ඈ පටන් ගන්නවා සාස්තරය අහන්නාගෙ අතීතය කියන්න,
පරන අය අර කිරි ගහට ඇන්නා කියලා කියන්නෙ,අන්න ඒ වගේ අතීතය කියලා ඉවර කරන ඈ ඊ ලඟට පටන් ගන්නවා අනාගතය කියන්න,
ඈ අනාගතය කියන්නෙ අනික් අය වගෙ නෙවෙයි,
එක අනාගතයක් වෙනුවට ඈ අනාගතයන් කිහිපයක් කියනවා,
කලුත් නැති, සුදුත් නැති,
කියලා ඈ කියනවා කැමති අනාගතයක් තෝරගන ඒක දිහාවට ගමන් ආරම්භ කරන්න කියලා,
ඈ මේ කියන සාස්තර වලට මුකුත් ඉල්ලන්න යන්නෙ නෑ සාස්තර අහන්නන්ගෙන්,
කොහේදි හරි ඈව දැක්කාම ඔවුන් මූන පුරා හිනා වේවි කියල බලාපොරොත්තු වෙනවා ඇරෙන්න,
ඒත් බොහෝම අය ඇගෙන්නම් පෝන් නම්බරයනම් ඉල්ල ගන්නවා,
ඈ ගුරුකම් කරන විදිය මම කියන්න යන්නෙ නෑ ඒකෙන් කතාවට වැඩක් නැති හන්දා,
ඒත් ඒකට ලැප්ටොප් එකක් සම්බන්දයි කියලා විතරක් මම කියන්නම්,
ඔන්න දැන් තමා හරි කතාව පටන් ගන්නෙ,
ඈ දවසක් බස් එකේ ගමනක් යද්දි හමු වෙච්ච එක තරුනයෙකුට ඕනි වෙනව ඇගෙන් සාස්තරයක් අහන්න,
දැන් මගෙන් අහන්න එපා ඔහු කොහොමද ඈ මන්තර කාරියෙක් ය කියලා දැනගත්තෙ කියලා,
මම දන්නෙ නෑ,
ඔහු කොහොම හරි දැන ගත්තා,
ඉතිං ඈ පුරුදූ විදියට සාස්තරෙ කියන්න පටන් ගත්තා,
ඉතිං අතීතය කියලා ඉවර වෙලා අනාගතය කියන්න පටන් ගන්නකොට මහ පුදූම දෙයක් උනා,
ඈ කවදාවත් කියපු එකම සාස්තරයකවත් ඇගේ ගැන තිබුනෙ නෑ,
ඒත් මෙන්න මේ තරුනයාගෙ අනාගතයෙ ඇගේ ගැන කියවුනා,
ඈ ඒක මේ තරුනයාට කියන්න බය වුනා,
මන්තර කාරි සාස්තරය ඔක්කොම තරුනයට කිව්වා,හැබැයි ඒ ඇගේ නම තිබුනු කොටස අයින් කරලා,
සාස්තරය කියලා අවසානයේදි වෙන කාගෙන්වත්ම මුකුත්ම නොයිල්ලපු ඈ,
ඔහුගෙන් පෝන් නම්බරේ ඉල්ල ගන්නවා,
ඉතිං ඒ කථාවෙ දැනට කියන්න පුලුවං හරිය ඔච්චරයි,
ඉතුරු ටික ආරන්චි වුනාම කියන්නම්,
හැබැයි තව මන්තර කාරි නොහිතපු දෙයක් තියනවා කියන්න,
ඒ තරුනයාගෙ අනාගතේ මන්තර කාරි ලියවෙන්නෙ ඇගේ සාස්තරය නිසාම බවත්,
සාස්තරයෙ ඈ ගැන කියවෙන්නෙ අනාගතය නිසා බවත්......

Friday, March 1, 2013

කාගෙදෝ මන්දා ජීවිතයක්......

දවස් දෙක තුනකට කලින් වැලට දාපු කලිසම තාම හුලඟට වැනෙනවා,
වේලිලා හුඟක් කල් වෙන්න ඇති...
කවුරු බලන්නද..
බෝඩිමේ කවුරුත් හිටියෙ නෑ.මම හංගල තිබුනු තැනින් යතුර අරගන දොර ඇර ගත්තා.
හැම තැනම දාලා තිබුනු ඇඳුම් ටික එකතු කරලා බෑග් එකකට් ඔබා ගත්තා.
ණයට අරං ණයට අරං දැං ණයට ගන්න එකෙකුත් නෑ.
අන්තිමට එකෙක්ගෙන් යන්න සල්ලි ඉල්ල ගත්තෙ "උඹට හුඟ කාලෙකට මේක ආයි දෙන්න වෙන්නෙ නෑ මචං"
කියලා හිත යටිං කියන ගමං.
එ අස්සෙ උදේටත් මුකුත් නොවැටුනු බඩ කෑ ගහන්න ගත්තා,හරියටම කෑ ගගහ හිටපු හිත වගෙම..
"මචං,මම යනවා.ආයිත් දවසක අපි හම්බ වේවි,එදාට උඹලගෙයි මගෙයි වෙනස,උඹලා ලොකු මහත්තුරු වෙලා ඉඳීවි"
කියලා ලිවුමක් ලියන්න ආපු අදහස එහෙම්මම අත් ඇරලා දැම්මෙ ඕක ලිව්වත් නැතත් කවුරුවත් ඕක ගැන හොයන එකක් නෑ කියල හිතුනු හන්දා.
බෝඩිමේ දොර වහලා දාලා යතුර තිබුනු තැනින්ම හංගපු මම පඩිපෙල නගින ගමං ජීවිතේ පරන පරිච්චේදයක් වෙච්චි බෝඩිම දිහා අන්තිම වතාවටත් බැලුවා.
එතකොටයි දැක්කෙ කලිසම තවමත් වැලේ වැනෙනවා.ඔක්කොම අරං යන එකේ ඔක තියලා යන්නෙ මොකටද කියලා ඒකත් අරං බෑග් එකේ ඔබා ගත්තා.......

Monday, January 28, 2013

ආයිමත් එනවා නේද මට එලවන්න?.............


"Close The Terminal session?"
තීරන පිරුනු ජීවිතේට තවත් එක් ප්‍රශ්නයක් එල්ල උනා,

තීරන අරගන හෙම්බත් වෙලා හිටපු මට ජීවිතේ තවත් එක ප්‍රශ්නයක් එල්ල කලා.
නෑ නෑ,ජීවිතේ නෙවෙයි මගෙ ඉස්සරහ තිබුනු කොම්පියුටරේ.

ඒ තීරනේ ගන්න එක මොහොතකට නතර කරලා මම වටපිට බැලුවෙ ඒකාකාරී ජීවිතේ රටාව බිඳින්න දෙයක් හොයාගන්න,
සිකුරාදාවක් වෙච්චි එදා පරිගණක ඒකකයෙ පාලුව බිඳින්න හිටියෙ මම වගේම තවත් කොම්පියුටරේට මූන ඔබාගත්තු හතර දෙනෙක්ම විතරයි,
හැමෝම තම තමංගෙ වැඩ,

එකෙක් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා ඇති,සමහර දවස් වලට මම වගේ,

තව එකෙක් සබ්මිට් කරන්න පරක්කු උනු ප්‍රැක්ටිකල් එකක් කරනවා ඇති,

මම නම් කලේ හිත කියන දේ,
මොකක් කර කර හිටියද මන්දා,
කොහොම හරි,හිත කියන දේ,

මහ පාලුවේ ඒකාකරි බව බිදින්න කියලා මම කියපු දේ ඇහිලද කොහෙද,
කවුදෝ මන්දා දොරක් ඇරියා,
කල්පනා ලෝකෙක හිටපු මම ගැස්සිලා ඒ පැත්ත බැලුවා,
මම දැක්කෙ,

මෙහෙදි කලාතුරකින් දකින්න පුලුවන් හිනාවෙන් පිරුනු මූනක්,
දැකලා පුරුදු එකක්,
සියවෙනි වතාවට දකිනවා උනත් මට තවම මතකයි ඇයව පලවෙනි වතාවට දැකපු දවස,

මම හිටියෙ පරිගනක ඒකකයට යන කොරිඩෝවෙ,
ඒ වෙලාවෙ පොඩි වැස්සක් තිබුනා,
ලඟ පාත කවුරුත් හිටියෙ නැති හන්දා මම හිටියෙ වහලෙන් වැටෙන වතුර පාරවල් වලට අහුවෙන්න අත පද්ද පද්ද මගේම හීන ලෝකෙක,
ඒ වෙලාවෙ තමා එයා කොරිඩෝවෙ එහා කොනෙන් මතු උනේ,
මම එයාව දැකපු ගමන් කර කර හිටපු විකාර වැඩ නැවැත්තුවා,

ඒත් එයා ඇති තරම් දැක්කා,
මගෙ ලඟින් යන ගමන් ලොකු හිනාවක් දැම්මා,
මට ආපහු හිනා වෙන්න මතක් උනෙ ටික වෙලාවකට පස්සෙ,

මොකද මම මෙහෙදි හිනාවෙන මූනක් දැක්කමයි.
එයාගෙ පලවෙනි හිනාවම මගේ හීන ලෝකෙට එලියක් දුන්නා,
මගේ හීනවල,එයා හිටියා.
එක එක විදි වලට,
කවදාවත් හැබෑ නොවෙන විදි වලට.

එයා ආපහු හිනා වෙනවා,
මම හැරිලා බැලුවා මගෙ පිටි පස්සෙ කෙනෙක් එක්කද කියලා,
කවුරුත් හිටියෙ නෑ මගෙ පිටිපස්සෙන්,
මමත් හිනා උනා,
ඇඟෙන් කෑල්ලක් යනවයෑ,
එයා මගෙ ලඟට ඇවිත් එහා පැත්තෙ පුටුවෙන් වාඩි උනා,
හීන දකින්න ඇති මම දහස් පාරක්,
මේක වෙයි කියලා,

ඒත් කවුද හිතුවෙ ඇත්ත වෙයි කියලා!
"මල්ලි හැමදාම මෙහෙ එනවා නේද?",

මම හිතුවෙම නෑ කතාකරාවි කියලා,
"නෑ...මේ....ඔවු..නෑ..නෑ...ඔව්",මට වචන පැටලුනා.
"මොකෝ මල්ලි බය වෙලා?.මම ආවෙ එලවන්න නෙවෙයි" ආයිමත් අර හිනාව.
"ඔවු ඉතින්,ඉදලා හිටලා එනවා",ඒ පාරනම් ටිකක් හරි ගියා.
"ඉඳලා හිටලා?.හොඳ ඉඳලා හිටලා.පහුගිය සතියෙම උදේ ඉඳලා හවස් වෙනකම් මේකෙ නේද?"එයා හිනා වෙවී අහනවා.

මම හිනා උනා,
"මොකද හිනා වෙන්නෙ?.නීවාඩු දෙන්නෙ ගෙදර යන්න.මේක ඇතුලට වෙලා ඉන්න නෙවෙයි.",
"එහෙනම් මම  යන්නද?" මම හෙමිහිට ඇහුවා.
"අපෝ පිස්සා,ඔච්චර බය වෙන්න එපා.මම කිව්වනේ එලවන්න නෙවෙයි ආවෙ කියලා" ආයිමත් අර හිනාව..
"එහෙනම් යන්න කිව්වෙ?"
"විහිලුවටනෙ ලමයෝ,හැමදාම උනත් එන්න.මගේ අකමැත්තක් නෑ",හීනයක දෙබස් ඒ වගේම.
මම හෙමිහිට ෆෝන් එක අතට අරන් වෙලාව බැලුවා,
වහන වෙලාවමයි,
"මොකද වෙලාව බලන්නෙ?යන්න ඕනිද?" තවත් ප්‍රශ්නයක්.
"දැන් වහනවා නේද?,වහන්නෙ නැත්නම් යන්නෙ නැතුව ඉන්නම්" මම කිව්වා.
එයාට ලොකු හිනාවක් ගියා.
"අපෝ දැන් වහන්න ඕනි.ඔයාට ගෙවල් නැති උනාට අපිට යන්න ගෙවල් තියනවා",
"එහනම් මම යන්නද?" ආයිමත් මම ඇහුවා,
මට හිතුනෙ "ඉතින් යන්න,මට මොකද" කියයි කියලා,

ඒත්,
"එහෙනම් යන්න,ආයිමත් එනවා නේද මට එලවන්න?"...................................................................................................