Thursday, August 25, 2011

මගේ ජීවිතෙන් දවසක්


සුපුරුදු පරිදි උදේ 6.00 විතර ඇහරුනා,
නැගිටලා මක් කොරන්නද,
මෙච්චර වෙලා දැක්කෙ මට ඕනි හින නෙවෙයිනෙ,දැන් එයා ගැන හීනයක් බලනවා,
"අවදි සිහින" කස්ටමයිස් කර කර බැලුවැහකිනෙ..

ඔන්න හරි,

කෝ ස්ටාට්!!..
ආ හරි ඔන්න වැඩ ඇරිලා එනවා
එයා එන්නව දෙර ගාව මම එනකන් බලාගන..
......................................................................
......................................................................

"පුතේ නැගිටිනවා අද මොකක්ද විබාගයක් කිව්වා නේද හ්ම්! හ්ම්!"...
සිහ් අම්මා කෑ ගහලා කෑවා අවදි සිහිනෙ...

හුටා!! මොකද්ද විබාගෙ කතාව?
අද................ කවද්ද,මතක නෑනෙ..
නිකං ගෙදරට වෙලා ඉන්න මට මොකටද දවස...

අඃ පෝං එක ඇති කොට්ටෙ යට.......
කෝ බලන්න..
ඒකත් නෑ..
ඇද යට වෙන්න ඇති..

අඃ අර තියෙන්නෙ ලස්සනට කෑලි තුනකට ගැලවිලා,
හයි කරලා බැලුවා දවස විසි පහ..
විසි පහ..විසි පහ..විසි පහ...
හුටා අර පොප් මගුල නේද?..
තියනවා නේන්නං විබාගයක්..
අම්මාපා මේ ඇස්බියා අපිට කිව්වනම් "දැන්ම කැම්පස් ගන්න බෑ,ටිකක් කල් ගෙදර හිටපියව්" කියලා, අඩු තරමෙ

පතලකවත් වැඩට යන්න තිබුනා..
නායකත්ව පුහුනුයි පූර්ව නමනිකරනයි දදා වද දෙන්නෙ නැතුව..

අවදි සිහිනේ බැලුවෙ පොඩඩ උනාට වෙලාව 8.00යි

පලයංකො විබාගෙට යාලුවො එන හන්දා දාගත්තෙ 10.00ටද කොහෙද..10.30ටද?..හැහ් දැන් කොහොම ගියත්

10.30ට තමා..
මට ඕනි වෙලාවට පාරෙ බස් යන එකක්යෑ..
අරෙහෙං මෙහෙං ගහලා මූන හෝද ගත්තා,
මට අමතක උනාට අම්මට විබාගෙ අමතක වෙලා නෑ වගේ ඇදුම් දෙකකුත් මැදලා!!
අරෙහෙං මෙහෙං උදේ කෑම එකත් ගිලලා දිව්වා පාරට..

හැහ් අවුරුදු ගනං පරන තඩි වලවල් පාරෙ,කොහෙද කාපට් කොරං ඇවිල්ලා හතරමං හන්දිය ගාව නැවැත්තුවනෙ,
යන්නෙ කොයි පැත්තටද කියලා හිතාගන්න බැරිවෙන්න ඇති..දැන් වෙන කොහෙද පාරක් කාපට් කොරනවා

කියන්නෙ මැශින් ටික අරන් ගිහින්..

හම්මෙ යන්තං ඔය එන්නෙ බස් එකක්,
හැටි විතරක් දැක්කාම නගින හිතෙන් නෑ..වෙන මොකක යන්නද ඔන්න ඔහෙ නගිනවා..

දඩස්!!..
හප්පොයී තවත් වලක්,මේකෙ ඇන්ජිම වැටෙයිද මන්දා.. o_O

යන්තම් 9.40 ට ආවා ස්ටෑන්ඩ් එකට,අරුං මාව කන්න බලාගන ඇති 9.20 එනවා කිව්වෙ..

තෝඔඔඔ හැමදාම පරක්කුයි!!,හුහ් මම කලින් ආපු දවසට මුං පරක්කු වෙනවා ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....

හරි හරි දැං යමං බස් නෑනෙ බං අපේ පාරෙ...

නැග්ගා බස් එකට
මචං මටත් එක්ක ගනිංකො...
නොදකිං තෝ මාවමයි කන්නෙ, හුහ් මූට මතක නෑ මම මූට ටිකට් ගත්තුවා..

එනකොට 10.30 වෙයි කියලා හිතුවට 10.15 වෙනකොට ආවා..
ගිහන් අහපුවාම ලස්සන කෙල්ලෙක් -මිස් කෙනෙක්- කිව්වෙ නැතෑ, 10.30 ට එන්න ඒ වෙලාවට ටයිම් බුක් කලා

නම්.හරි හරි ඉතිං අපිට බලෙං ලියන්න ඕනි නෑ

හිටුකො අපි ඇතුලට එනකම්...
හෆ්ෆොයි ඉංග්‍රීසි පේපරෙ ගිය පාර එකට වඩා අමාරුයි පැය එක හමාරම ගියා,මිස්ට මුකුත් කියන්න උනේ නෑ...අපි

හතර දෙනා විතරනෙ,
කිසි කික් එකකුත් නෑ..

ද්වල්ට ලඟ තියන කඩෙං කාල අනිත් එක ලියන්න ගියා,
රෙද්දෙ අයිටී
මේක හදන්නෙ මයික්‍රොසොෆ්ට් එකට කඩේ යන එකෙක්ද?
ඔෆිස් ප්‍රස්න විතරයි..ඇහුවාම ඔය යන්නෙ රවාගන මිස්..කලිං සෙසන් එකේ කියපුවට මාව තාම නෝට්ද මන්දා..

අයිටී එක විනාඩි 45න් ඉවර කරලා බුකිය පැත්තෙ යන්න බැලුවා..කොහෙද ගූගලා පැත්තෙ යන්නත් බෑ ඔක්කොම බ්ලොක් වගේ..
මොනවා කොරන්නද සබ්මිටුත් කරපු එකේ අරූගෙ පේපරේට එබෙනවා...

ඌටත් ටිකක් කියාදීලා සෙට් එකම ආවා එලියට..
යන්නම් කියපුවාම මිස්ගෙ මූනෙ ආපු හිනාව..හපෝයි කරදරයක් ඉවරයි කියනවා වගේ..

හයියෝ කම්මැලී ඉතුරු ටික හිතුනොත් පස්සෙ දානවා..දැම්මත් මම විතරනෙ බලන්නෙ... :D :D

Wednesday, August 24, 2011

මරණය........

මරණය..

ජිවත් උනොත් අවසානයට හම්බ වෙනවා කියලා අනිවර්‍යෙන්ම දන්න එකම දෙ.....

මරණයට කලින් ජීවිතය ගැන කතා කරන්න ඔනි..

ජීවිතය,
නිවන් දකින්න පින් මදි කමෙන් නැවත නැවතත් එකම රෝලක දුවන ජීවිතය
අපි ජීවත් වෙන්නෙ මොකටද?

භක්තිමන් බෞද්දයෙක් කියන්න පුලුවං නිවන් දකින්න කියලා...
එතකොට අපි මේකට ආවෙ කොහොමද? සංසාරෙට...

වෙනත් ආගමක කෙනෙක් කියන්න පුලුවං දෙවියන්ගෙ කැමැත්ත හන්දා කියලා.
අපි මොකටද කාගෙවත් කැමැත්තට ජීවත් වෙන්නෙ?

අපි ජීවත් වෙන්නෙ ආසාවන් ඉශ්ඨ කරගන්න..
ජීවිතේට තියන ආසාව
ජීවත් වෙන්න තියන ආසාව
ලිංගික ආසාව..
තවත් ආසාවල්..........

ආසාවල් එක්ක එන අනික් දේ බලාපොරොත්තු සහ සිහින
මොකක් හරි ආසාවක් ඉශ්ඨ කරගන්න අපි බලාපොරොත්තු ඇති කරගන්නවා..
ඒක ඉශ්ඨ කරගන්න එක අමාරුනම් බලාපොරොත්තුව සිහිනයක් වෙනවා..

හිතන්න ජීවිතේ බලාපොරොත්තු සහ සිහින ඔක්කොම ඉශ්ඨ උනා..එහෙම නැත්නම් ඔක්කොම අමතක කරලා දාන්න පුලුවන් උනා(ඔය අන්ත දෙක අතර තියෙන්නෙ බොහොම පොඩි වෙනසක්...)
එතනින් එහාට ඔහුට හෝ ඇයට ඉතුරු වෙන්නෙ අලුත් බලාපොරොත්තු ඇති කර ගැනීම හරි මරණය හරි....

ඉතින් ජීවිතේ කියන්නෙ ආසාවල් පස්සෙ දුවන මහා බොරුවක්.ශිශ්ටාචාරයේ පට පිලි වලින් වහලා ලස්සන කරලා පෙන්නන නැත්නම් අපි පෙන්නගන්න මහා බොරුවක්...

දැන් මරණය ගැන
උඩින් කිව්වා වගේ ආසාවල් නැති මිනිහට තෝරගන්න තියන එක පාරක්

සමහරු මරණය තොරගන්නව...
සමහරුංව මරණය තෝරගන්නවා..

මරණය තෝරගන්න මිනිස්සු,
එල්ලිලා මැරෙනවා
එහෙමත් නැත්තම් වෙඩි තියාගන?
උස තැනකින් පැනලා?
වැඩිපුර බෙහෙතක් බීලා?
වහ බීලා?
එහෙමත් නැත්නම් ජපන් ක්‍රමේට හරා-කිරි කරගන?

මරණය විසින් තෝර ගන්න මිනිස්සු,
ගුටි කාලා.
වෙඩි කාලා,
රිය අනතුරු වලින්,
හදවත් ආබාදයකින්,
මොලයේ ලේ නහර අවහිර වීමකින්,
එහෙමත් නැත්නම් නිකන්ම..

මම මැරෙණ්න තීරනය කලොත්?
කට්ටිය මොනවා කියයිද?
කට්ටියක් "අනේ මැරියන්,තෝ මැරෙන එකමයි හොද.." ඔව් බං මේ මැරෙණ්න තමා හදන්නෙ..
තවත් කට්ටියක් "මැරියං බං,මේකෙ ඉන්නවට වඩා යන එක හොදයි" එතකොට ඇයි උඹලා ඉන්නෙ?

තවත් කට්ටියක් "අනේ මැරෙණ්න එපා,අපිට ඔයා නැති එක හැමදාම දැනෙයි" මොන පිස්සුද මම මැරිලා මාසයක් දෙකක් ගියාට පස්සෙ මාව මතක් වෙන්නෙ ආයිත් දානෙ දවස් වලට තමා...

"අනේ ඔයා මැරුණොත් ලෝකෙට පාඩුවක්"තව කවුරු හරි,
මොන පාඩුවක්ද මම කරන්න ඕනි වැඩ කොටස වෙන කවුරු හරි කරයි...

"ඔයා මැරුණොත් ඔයාගෙ අම්මලා තාත්තලා?" ඒ ගොල්ලො කොහොම හරි ජීවත් වෙයි.බැරිනම් මැරෙයි...

කවුරු හරි කියන්න පුලුවං මම ආත්මාරතකාමියෙක් කියලා..ඔව් මම එහෙම තමා
පොඩි කාලෙ ඉදලා එහෙමයි..

පුන්චි කාලෙ අම්මාගෙන් කිරි ඉල්ලලා ඇඬුවෙ මගේ බඩගින්න නිවාගන්න මිසක්,මට කිරි දෙන්න ආවාම රොස් වෙන,ගෙදර අයගෙ බඩගින්න නිවන බත් එක ගැන,හිතලා නෙවෙයිනෙ?

පහ වසරෙදි ශිස්වත්තෙ ලිව්වෙ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට යන්න මිසක් එහා පැත්තෙ මගෙත් එක්ක හිටපු හොඳම යාලුවා ඒකට යවන්න නෙවෙයිනෙ?

එකොලහ වසරෙදි සාමාන්‍යපෙල,දහ තුනේදි උසස් පෙල...
සීසන් පෝලිමේ..
ඇදුම් කඩේක,
බස් එකේ..
කොහේදිවත් නොතිබුනු පරාර්තකාමීත්වයක් මොකටද මැරෙණ්න විතරක්..

හැම තැනදිම අනුන්ට අයිති දෙයක් පොරකාලා ගත්තු මම මොකටද මට අයිති මගේ ජීවිතේ ගද්දි විතරක් පරාර්තකාමි වෙන්නෙ...

Tuesday, August 23, 2011

හිත යටින් ඉකි ගසන්.................................

ඔබ ඈත දුර ගිහින්,
යන්න මගෙ හිත අරන්,
සිනාසෙමි මම මුවින්,
හිත යටින් දුක අරන්..

උදා තරුවක් ලෙසින්,
ජීවයට එලිය දුන්,
ඇයි ඔබට බැරි ඉන්න,
හැමදාම මගෙ ලඟින්..

සිනා මුසු මුහුනකින්,
පිනවුවත් දසුන මං,
ඉන්නෙ මම දුක දරන්,
හිත යටින් ඉකි ගසන්..............

Wednesday, August 17, 2011

කාලය එච්චර නපුරු නෑ.................

පසුගිය වසර තුනක් පුරාවට ඇය එවා තිබු පනිවුඩ ගනනාව පුරාවට දහස් වැනි වතාවටත් දෑස ගෙන ගිය මා,
ඇය ඔන්ලයින් එනු දුටු මොහොතේම,
"වීඩියෝ ඇමතුමක් ලබාගන්න"
විදානය ලබාදුන්නෙ වසර ගනනාවකට පසුව,
පලමු ඇමතුමේදී,
කුමක් පවසන්නදැයි කිසිම අදහසකින් තොරවයි.....

"ඔබ ඇමතූ ෆේස්බුක් පරිශීලකයා මේ අවස්තාවේදි වෙනත් ඇමතුමක් ලබාගනිමින් සිටී...කරුනාකර පසුව අමතන්න"
යාන්ත්‍රික හඬ නෑසි යද්දි,

හිතට ගලා ආ අදහස,
"එයා යාලුවෙකුට කෝල් කරනවා ඇති..."
ඊලඟ මොහොතේ බිඳ වැටුනේ,
තිරයේ සදහන් වූ
"ඔබට _____ගෙන් පැමිනෙන ඇමතුමක්"      පනිවුඩයත් සමගමයි,

සියුම් විශ්මයක් කැටි වූ හැඟීමකින් ඇමතුම අනුමත කල වහාම..

"අනේ ____"...

නැගුනු ඇගේ හඬ වසර ගනනාවකට පසුවද පැරනි ලෙන්ගතු හැඟීමම ලබාදුන්නෙ,
කෙසේ සිදු වූවාදැයි වචන දහසකින්වත් පැහැදිලි කිරීමට නොහැකි ලෙසකින්.....

........................................................................................................................................

ඇගේ පලමු සහ දෙවන ප්‍රතික්ශේප කිරිම් වලින් ජීවිතය ඉගෙනීමටම කැප කිරීමට ඉටාගත් මා,
එය සදාකල් නොපවතින අදිටනක් වේයැයි සිතූයේ,
මා සිත එක තැනක පවතින්නෙ ඉතා සුලු කාලයක් නිසාවෙන්,

නමුත් ඉගෙනුමට ඇති ඇල්ම මෙන්ම එම අදිටනද නොනැසී පැවතුනේ,
මාගේ නිසඟ ස්වභාවයට අභියෝගයක් වෙමින්...
ප්‍රතික්ශේප කිරීම කෙසේවෙතත් මා ඇය සමග සබඳතා හැර දමන තුරු ඇය මට සැබෑම මිතුරියක් උනා..

......................................................................................................................................................

උත්සාහ කල පලමු වතාවේදීම උසස් පෙල කඩයිම සමත් වී සරසවියට ඇතුල් වීමට වරම් ලැබූවත්,
සරසවිය ආරම්භ වීමට අසාමාන්‍ය ලෙස කල්ගත වීම නිසා ඉගෙනීමට හැකි විකල්ප ක්‍රම පිලිබදව සොයාබැලීමට මා පෙලඹුනේ,
ජීවිත කාලය නාස්ති වූවා ඇතැයි සිතීම නිසා,
සොයාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස සරසවිය ඇරඹී පලමු සමාසය තුල මට මෙරටට පැමීනීමට හැකි වූයෙ ද්විත්ව උපාදියක් සදහා...

සරසවියේ මාගෙ සහෘදයන් සිතන්නට ඇත්තේ මා වෙනත් සරසවියකට සිසු මාරුවක් සඳහා පිටව යන්නට ඇති බවයි,
එය නිවැරදි කිරීමට කාල වේලාවක්  නොවූයේ මෙරටට ආ විගස ඇති වූ දහසකුත් එකක් ප්‍රස්න ගැන සිත යොදවන්නට සිදු වූ නිසාවෙන් සහ මා මවුරටින් පිටව ආවේ සරසවි කාර්‍ය මන්ඩලයේ යම් ගැටලුවක් නිසා සරසවිය වසා දමා තිබූ කාලයක බැවින්..

පාසල් කල මා මිතුරන් සමග තිබූ සබැදියාව සරසවි ගත වීමත් සමගම යම්තාක් දුරට බිදවැටීම හේතුවෙන් රට හැර යාම ඔවුනට දැන්වීම ඇවැසියැයි මා නොසිතුවා...

මා යම් කිසි සුලු හේතුවක් මත ඇය සමග හිත් අමනාපයකින් සිටි බැවින් රට හැර යාම ඇයට නොදැන්වීම මා කල විශාල වරදක්,

මාගෙ රට හැරයාම දැන සිටියේ මාගෙ පවුලේ පිරිස සහ මට මෙරටට පැමිනීමට අත දුන් තැනැත්තා පමනක් වන අතර,
අසල් වැසියන් සහ මිතුරන් තවමත් සිතනවා ඇත්තෙ මා සරසවියේ බව විය යුතුය,
ඔවුන් නිවැරදි නොකරන්නයැයි මා පවුලේ අයට කියූවේ මා සරසවියේ උවත් මෙරට උවත් ඔවුනට එයින් වැඩි වෙනසක් නැති බැවින්......

.................................................................................................................................................

එවකට,සමාජ ජාල වෙබ්අඩවි වලට බෙහෙවින් ඇබ්බැහි වී සිටි මා එයින් මිදුනේ විශාල උත්සාහයකින් පසුව බැවින්,
මෙරටට පැමිනි පසුව මම සමාජ ජාල අඩවි අත් හැර දැම්මා,
එනිසා මගේ මිතුරන්ට මා ගැන කිසිම හෝඩුවාවක් නැති වන්නට ඇති,

තවමත් ගූගල් සමාජ ජාලය සමග කරට කර තරඟයක් දෙමින්,
නොනැසී පැවතෙන ෆේස්බුක් වෙබ් අඩවියට මසකට දෙකකට වරක් පැරනි පුරුද්දට ගොඩ වැදුනත්,
ඒ කලකට පසුව දුටු සහෘදයෙකු දෙස දුරින් බලා සිටින්නා මෙන් මිස පැරනි ඇඟෑලුම් කම නැවත අරඹ්න්නට නොවේ,
එනිසා මකුලු දැල් බැදෙමින් පැවති මගේ බිත්තිය "ස්ටේටස් මැසේජ්" එකකින් පිරිසිදු කරන්නට වත්,
මැසේජ එකසිය ගනනක පැවති මගේ "පැමිනි පනිවුඩ" පෙට්ටිය බලන්නටවත් මට උවමනාවක් තිබුනේ නැහැ...

සත්‍ය වශයෙන්ම මට ඕනෑ වී තිබුනේ ලෝකයෙන් වෙන් වී තනි වන්නට විය යුතුයි.......
.................................................................................................................................................

කාර්‍ය බහුල පලමු වසර තුනෙන් සහ සමාසික සයෙන් පසුව මා ඉගන ගන්නා විශයන් වල ප්‍රායෝගික පුහුනුව සදහා පිටව ආවේ දෙමසකට පෙරයි....
මෙහිදී මා හදුනා ගත් මිතුරන් සහ මා වෙන් වූයෙ කිලෝමිටර දහස් ගනන් වලින් වන බැවින් ඔවුන් සහ සම්බන්ද වීමට පහසුම විකල්පය වූයේ සමාජ ජාලයක් බැවින් පැරනි ෆේස්බුක් පිටුවේ මකුලු දැල් කඩා භාවිතයට ගන්නට සිතුවා...

පලමු දින කීපයේ අලුත් පින්තූරයක් දමා මගේ මෙහි මිතුරන් එකතු කරගත්තා....
ප්‍රායෝගික පුහුනුවලින් පසු නවාතැනට පැමින "වීඩියෝ ඇමතුම්" හරහා මෙහි මිතුරන් රෑ වනතුරු කයිවාරු ගැසූ මට මේ වන විට මවුරටේ මගේ මිතුරන් සෑහෙන තරමකින් අමතක වී තිබුනා....

සියල්ල වෙනස් කරමින් සති දෙකකට පෙර එක් දිනෙක "පැමිනි පනිවුඩ" පෙට්ටියේ ඇති පනිවුඩ සියල්ල කියවා

දමන්නට සිතුනේ,
නිවස්න පිටුවේ සිටිනා විට "ඔබේ පැමිනි පනිවුඩ පෙට්ටියේ xx ප්‍රමානයක් නව පනිවුඩ ඇත" යනුවෙන් දිස් වුනු පනිවුඩය ඇසට තරමක් කරදර කාරී වූ නිසා,

"කන්ඩායම් පනිවුඩ" සහ "පිටු යාවත්කාලින" හැරුනු විට වැඩි ප්‍රමානයක් තිබුනේ පැරනි මිතුරන් මා රට හැර පැමිනි

දින වල මා සොයමින් එවූ පනිවුඩයි...
ඔවුනට පිලිතුරු සැපයීම "එයාලට දැන් මාව අමතක වෙලා ඇති" යන්න නිදහසට කරුනක් කර,අලස සිතින් මග හැරි මා,
හදිසි‍යේම දුටු පනිවුඩ කිහිපයකින් ගල් ගැසී ගියා,
ඒ ඇයගේ නමට තිබූ පනිවුඩ ගොනුවයි..

මා රට හැර ආ දිනයේ ඇය නොමනාපය අහවර කරන්නට මට කෙටි පනිවුඩයක් තබා තිබුනා..
මා මවුරටින් පැමිනෙද්දි ජංගම දුරකතන අංකය,පැරනි ඊමේල් ලිපින ආදිය විසන්දි කර දැමූ නිසා,
පැරනි ලෝකය සමග තිබූ එකම සම්බන්දය වූයෙ ෆේස්බුක් පිටුවයි..
මාගේ ජංගම දුරකතනය ප්‍රතිචාර නොදක්වන කල්හි ඇය මට ෆේස්බුක් පනිවුඩයක් එවා තිබුනේ

"___ තාම තරහද?,මමනම් තරහා අත ඇරියා.මොකද ෆෝන් එක වැඩකරන්නෙ නැත්තෙ?" අසමින්..
එවකට ප්‍රභල ෆේස්බුක් පරිශීලකයෙකු වූ මා එවන් පනිවුඩයක් නොදකින්නට ලෙසක් නැති බව ඇය සිතන්නට ඇති..

පලමු දිනයේ එසේ උවත් දෙවන සහ තුන් වන දින වල ඈ මා අසා එවා තිබූ පනිවුඩ ගනන 30ක් දක්වා ඉහල ගොස් තිබුනා......
මගේ ෆේස්බුක් පිටුවේ කිසිදු යාවත් කාලින කිරීමක් සිදු නොවෙනු දැක යම් හේතුවක් මත මා එය අත් හැර දමන්නට ඇති බව වටහා ගන්නට ඇතත්.ඇය මසකට වරක්වත් මගේ සුවදුක් විමසා පනිවුඩයක් තබා තිබුනා..

ඇගේ සමහර පනිවුඩ හුදෙක් සුවදුක් විමසීමටම පමනක්ම සීමා වී තිබුනේ නැහැ........

ඇගේ පනිවුඩ ගොන්න බලා අවසාන වන විට කාලයේ වැල්ලෙන් වැසුනු බලාපොරොත්තුවක් නැවතත් මන්දාලෝකයකින් දැල්වෙන්නට උනා....

ඉදින් මා දකින විට ඇය අවසන් පනිවුඩය තබා තිබුනේ සතියකට පෙරයි......

ඒවා දුටු වහාම මගේ ජංගම දුරකතනයේ තවමත් පැවති ඇයගේ පැරනි අංකයට ගත් ඇමතුම සාර්තක නොවූයේ පසුගිය වසරේ සිදුවූ අන්තර් ජාතික ජංගම දුරකතන අංක සංශෝදනය නිසා වියයුතුයි..
පැරනි මිතුරන් කිසිවෙකු සම්බන්ද කරගැනීමට නොහැකි මට කලහැකි එකම දෙය වූයේ,
ෆේස්බුක් පනිවුඩයක් තබා ඇගේ පනිවුඩ නැවත නැවත කියවීම පමනයි.
පසුගිය දෙසතිය පුරාවටම මා හැකි සෑම වේලාවකම "ඔන්ලයින්" ලෙස චැට් තත්වය තැබූවත්,
ඇයත් ෆේස්බුක් ගොඩවන්නෙ ඉදහිට නිසාවෙන්දෝ,
පෙරේදා වන තුරු මට ඇය දකින්නට ලැබුනේ නැහැ................
..........................................................................................................................................


වසර තුනක් ඇයගේ සිතේ සිරවී තිබු සිතුවිලි මගේ අභියස දිගහැරෙන්නට පටන් ගත්තෙ,
මට වචනයකුදු පැවසීමට ඉඩක් නොදෙමින්,

සිතුවිලි වලින් යමක් තේරුම් ගන්නට,
"___ මට ඕයාව හුඟක් ඕනි කියලා තේරුනේ,ඔයා ලඟ නැති බව දැනුනට පස්සෙ"
වදන් පෙල සැහේවියැයි මා සිතනවා....

මෙරටදී මට පැමිනි ආරාදනා සියල්ලම පාහෙ මා ප්‍රතික්ශේප කර ඇත්තෙ නොදැනුවත්වම ඇය වෙනුවෙන් විය යුතුයි.
ලබන වසරේ ඇගේ අද්‍යන කටයුතු අවසාන වූ වහාම ඇය මෙරටට පැමිනේවි....
ඉඳින් පතනවාද අපට සුභ අනාගතයක්??
...............................................................................................................................................

Saturday, August 6, 2011

සිතුවමත් සමගින්ම...............


අඳින්නට අවසරයි,
පන ගැහෙන ජීවිතය,
ඔබේ ඔය සදාතන,
සොඳුරු සිත් අහස තුල...

දිලෙන්නට කැමැත්තෙන්,
සොදුරු සිතුවමක් වී,
අයදින්නෙ ඔබෙන් මම,
වන්න මට පින්සලය..

සිතුවමට දිලෙන්නට,
ඇවැසි ඌ පින්සලය,
ලෙසම ඒ සිත් අහස,
සදාකල් රැදේවිද?

Wednesday, August 3, 2011

මා දුටු හොඳම රචකයන් (පොත් සහ බ්ලොග් අතර)


මම අද බ්ලොග් ලියමන ලියන්නේ රචකයන් ගැනය.
රචකයන් ගැන ලියන්නට කලින් පොත් ගැන ලිවිය යුතුය..
මම පොත් දහස් ගණනක් කියවා ඇති බව මට විශ්වාසය මක් නිසාද යත් උසස් පෙළ පන්ති වලට ඒමට පෙර මම දිනකට පොත් දෙකක්වත්කියවූ බැවිනි.
මගේ පොත් කියවිල්ල ගැන මගේ බ්ලොගය බැලු අය දනී...
මගේ ඉංග්‍රීසි දැනුම එපමණ හොඳ නැති බැවින් මා බලන්නෙ සිංහල පොත්ය.
පරිවර්තන,ප්‍රබන්ධ,කෙටි කථා,නව කථා,පත්තර සඟරා,අම්මා බඩු ඔතාගන එන කොළ කෑලි පවා කියවීමට මා පුරුදුව සිටියෙමි,
කියවීමේ දේ හිඟ බැවින් මේ පුරුද්ද මග හැරෙමින් පවතී,
හිඟ වීමේ හේතුවනම් මිතුරන් හමු වීම අඩු වීම සහ අප නගරයේ පුස්තකාලයේ හොඳ කමයි.
බ්ලොග් කියවීම මේ අතරට එක් උණත් අඩු පාඩුව පුරවාලීමට එය ප්‍රමාණවත් නැත..


දැන් රචකයන් ගැන 


මා කියවීමට වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ විද්‍යා ප්‍රබන්ධයි.
ඔබ කියවන්නෙක්නම් සිංහල විද්‍යාප්‍රබන්ධ වල හිඟතාවය ගැන දන්නවා ඇත.
බෙහෙතකටවත් සොයාගන්නට පවතින්නෙ සිංහල විද්‍යාප්‍රබන්ධ අල්පයක් වන අතර ඒවාද ප්‍රසිද්ධ "X-files" වැනි රූපවාහිනි මාලා නාටකවලින්,හෝ විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටියකින් "කොපි" කරගන්නා ලද චරිත සහ සිද්ධීන් වලින් පිරී ඇත.
පරිවර්තන ගැන තත්වය යම් යහපත් තත්වයක පැවතුණත් මෑතකදී පරිවර්තනය වන විද්‍යාප්‍රබන්ධ ප්‍රමාණය අඩුවී ඇත,
පරිවර්තනය ඌ ඒවාගේද ගුණාත්මක භාවය අඩු වී ඇත.


විද්‍යාප්‍රබන්ධ කලාවේ මුදුන් මල්කඩ සේ මා සලකන්නෙ "ආතර් සී ක්ලාක්" මහතාය.
ඔහුගේ නිර්මාණ ගණනාවක්ම සිංහලට පරිවර්තනය කල "එස්.එම්.බන්ධූසීල" මහතාට සහ අනෙකුත් පරිවර්තකයන්ට පින් සිදුවන්නට මමඔහුගේ ප්‍රසිද්ධ නිර්මාණ සියල්ලම පාහේ කියවා ඇත.
ඔහුගේ විද්‍යාප්‍රබන්ධ අභ්‍යාවකාශයට,යාන්ත්‍රික අනාගතයකට,පිටසක්වල ජීවින්ට පමණක් සීමා වී නැත.
තාරකා විද්‍යාව,ජීවය,මනස සහ දහසකුත් එකක් මාතෘකා අතර විහිදී ඇති ඔහුගේ නිර්මාණයක සෑම වචනයකින්ම අපට උකහාගන්නටදෙයක් මෙන්ම සිතන්නට දෙයක්ද පවතී.
"අහ්‍යාවකාශ වීර චාරිකාව" පොත් පෙළෙහි ඔහු අපව මානව පරිණාමයේ ආරම්භයේ පටන් ඉතා දියුණු පරමාදර්ශී අභ්‍යාවකාශශිෂ්ටාචාරයක් දක්වා ගෙන යයි.
"ගැඹුරු මුහුද" ලෙස සිංහලට පරිවර්තනය වී ඇති කෘතියේදි මුහුදු පතුල් කරා ගෙනයයි.
මොහුගේ සුවිශේසීතාවය වනුයේ කියවන්නාට විද්‍යාප්‍රබන්ධයේ ඇති තාක්ෂණික කරුණු පිළිබදව අවබෝධයක් ලබාදිමට උත්සාහ කිරීමයි.


විද්‍යාප්‍රබන්ධ කලාවේ ආරම්භකයා ලෙස සැලකෙන "ජූල්ස් වර්න්ගේ" නිර්මාණ දෙස බැලීමේදී,
පැහැදිලිව පෙනීයන්නෙ ඔහු කතාවෙ ගලායාම ගැන මිස විද්‍යාත්මක අන්තර්ගතය ගැන වැඩි සැළකිමක් දක්වා නැති බවයි.
නමුත් ඔහුගේ කාලය පිළිබදව සැලකීමේදි විද්‍යාත්මක අන්තර්ගතයක් තේරුම් ගැනීමට හැකි පුත්ගලයින් සිටින්නට ඇත්තේ අල්පයක් බවඋපකල්පනය කල හැක.


"අයිසැක් ඇසීමෝව්" හොඳ රචකයෙක් බව අසා තිබුණත් මා ඔහුගේ නිර්මාණ වැඩිපුර කියවා නැත.


සිංහල විද්‍යාප්‍රබන්ධ කලාවේදි මා හොද රචකයින් කිහිප දෙනෙක්ම දැක ඇති මුත් ඔවුන් සියලුදෙනාම පාහේ එක් කෘතියකට ඔවුන්ගේනිර්මාණ සීමාකර නිහඬ වීම ශෝකජනක කාරණයකි.
මෙහිදී මා දුටු හොදම නිර්මාණය වන්නේ "දමිත් නිපුණජිත්" ලියූ "විස්මිත සිහින දකින්නා" කෘතියයි.
කෙටි කථා කිහිපයකින් සමන්විත මෙහි සෑම කතාවකින්ම පාහේ බටහිර විද්‍යාප්‍රබන්ධ වල පවා දක්නට නොමැති අලුත් මතවාදයක් ඉදිරිපත්කරන්නට උත්සාහ දක්වා ඇත.
තව දුරටත් ප්‍රබන්ධ කරණය කළහොත් ඔහුට රචකයෙකු ලෙස හොද අනාගතයක් තිබෙනු ඇත.


විද්‍යාප්‍රබන්ධ ගැන කතාකිරීමෙද මට තවත් එක් අවනඩුවක් ඇත,
නවක රචකයන්ට ඉඩ දෙමින් "විදුසර" පුවත් පතේ පවත්වාගන ආ "විද්‍යා ප්‍රබන්ධය" විශේෂාංගය වසර දෙකක පමණ සිට නවතා දමා ඇත.. :(


මීළඟ ප්‍රියතමයන් වන්නේ ප්‍රබන්ධ කෘතිය.
එහිදීද බටහිර ප්‍රබන්ධ කෘති වල පරිවර්තන වලට මා වැඩිපුරම ප්‍රිය කරයි.


"චන්දන මෙන්ඩිස්" විසින් සිංහලයට පෙරැලුණු "ෂර්ලොක් හෝම්ස්" රහස් පරීකෂක කථා මාලාව,
පළමුව ඒම පොතක් කියවූ දින මෙන්,මට නැවත නැවතත් කියවා රසවිදිය හැක,
"ආතර් කොනන් ඩොයිල්"ගේ "ෂර්ලොක් හෝම්ස්" නිර්මාණ තරම් ඉහළ රසයකින් යුත් කතා මාලාවක් තවමත් මට හමු වි නැත.කතු කමපිළිබද විවාදයන් කෙසේවෙතත් කතුවරයා අග්‍රගණ්‍ය වේ.


"ඇලෙක්සැන්ඩර් ඩූමාගේ" "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" පොත ඉතා ඉහළ නිර්මාණ හැකියාවකින් නිමවුවක් බව අවිවාදිතය.
අවාසනාවකට මා ඔහුගේ කෘති කියවා ඇත්තේ එපමණකි..


මා අගය කරන අනෙක් පුත්ගලයින් අතර 
"ටාසන්","පොලියුසිඩාර්" සහ තවත් වික්‍රමාන්විත ප්‍රබන්ධ ගණනාවක් ලියු විශිෂ්ට පරිකල්පන හැකියාවක් තිබූ "එඩ්ගා රයිස් බරෝස්" (නමහරිද මන්දා) මහතා ද වෙයි.


මෙහිදී ඉහත සදහන් කෘති වලින් වැඩි ප්‍රමාණයක් සිංහලයට පරිවර්තනය කල "කේ.ජී.කරුණාතිලක" මහතා අමතක නොකළ මනාය.


සිංහල ප්‍රබන්ධ ගැන බැලීමේදි එකකට දෙකකට හැර සිංහල නව කථාවලට මාගේ වැඩි කැමැත්තක් නැත.
මා කියවු සිංහල ප්‍රබන්ධ වලින් වැඩිහරියක නම් මට මතක නැති අතට එම නිසා ඒවාගේ රචකයන් පිළිබඳව කෙසේවත් මතක නැත.


මෑත කාලයේදි ආරම්භ කල බ්ලොග් කියවිල්ලෙ දි දුටු රචකයන් අතර,"යතාර්තවාදියා" බ්ලොගය ලියන "නිහාල් ගුරුසිංහ" මහතා මා දුටුහොදම රචකයෙක් වන අතර,වසර ගණනාවක ජීවිතයෙන් පදම් ඌ ඔහුගේ බ්ලොග් සටහන් වලින් උකහාගත හැකි බොහෝ දෑඇත.කියවීම ආරම්භකළ විට අවසාන කර මිස දෑස ඉවතට ගත නොහැකි ඔහුගේ ලිවීම් විටෙක නිර්මාණ ශීලි වන අතර විටෙක නමේ කියවෙන ලෙසම යථාර්ථවාදී වේ..


සිත් ඇදගත් තවත් බ්ලොග් සටහනක් වන්නෙ "හිපියාගේ සටහන්" ය..කෘතියකවත් නොදුටු තරම් ඉහළ නිර්මාණාත්මක හැකියාවක් පවතින රචකයා,බ්ලොග් පිටුව යාවත්කාලීන නොකිරීම කනගාටුවට කාරණයකි.
කිහිප වාරයක් නොව දහස් වාරයක් කියවූවත් රසය අඩු නොවන මොහුගේ සටහන් සෑම මිනිසෙකුගේම සිහින වල කැටපත යැයි මා විශ්වාස කරයි..